ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තු විදේශ සමාගම්වලට ලබාදීම නීති විරෝධියි

June 22, 2020

එළඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා, රණවිරුවන් ඉදිරියට දමමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා බව පවසන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනා කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ දෙමළ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී නින්දිත ක්‍රියාවලියක නියැලෙමින් සිටිනා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා මැතිවරණය වෙනුවෙන් රණවිරුවන් ඉදිරිපත් කරමින් සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කරන රාජපක්ෂලා, රණවිරුවන් බිල්ලට දෙමින් දෙමළ ජනතාවගේ දෙමළ කොටි වීරයා පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීමෙන්, ඔවුන්ගේ ඉතාමත් දුෂ්ඨ, දෙබිඩි දේශප්‍රේමය හෙළිදරව් වන බව ද හිටපු අමාත්‍යවරයා, සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් හැටියට විශාල අපරාධ සිදුකළ අයෙක් බව ප්‍රකාශ කරල තිබුණ. නමුත් කිසිම අවස්ථාවක ඔහු එය පිළි අරගෙන තිබුණෙත් නෑ, ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබුණෙත් නෑ. ඒ සම්බන්ධව පරීක්ෂණයක් කළෙත් නෑ, දැන් ඔහුම ඉදිරිපත්වෙලා කියනව වෙන පක්ෂයකින් තරඟ කළත් ඔහුගේ සහය තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයටයි කියල.

ජාතික ලැයිස්තුවෙන් එන්න ආරාධනා කළත්, ජාතික ලැයිස්තුවෙන් යන්න සූදානමක් නෑ, නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ආශීර්වාදයෙන් යන බව ඔහු ප්‍රකාශ කරල තියෙනව. නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ආශීර්වාදය මොකක් ද, යුධ හමුදාවේ අලිමංකඩදි හා කිලිනොච්චියෙදි දෙතුන් දාහක් මරපු දෙමළ කොටි වීරයා හැටියට තමයි මුරලිදරන් එන්න යන්නෙ පාර්ලිමේන්තුවට.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා එක්තරා ආකාරයකට සාක්ෂියක්. ඒ නිසා අපරාධ පනත යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රජය වහාම විනයාගමූර්ති මුරලිදරන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම කරුණා අම්මාන්ගේ මේ ප්‍රකාශයත් සමඟ ආණ්ඩුවේ දේශප්‍රේමී සළුපිළි ගැලවී, ආණ්ඩුවේ දේශද්‍රෝහී ක්‍රියා කලාපය, ආණ්ඩුව ත්‍රස්තවාදීන් සමඟ කරන මේ නාටකය හෙළිදරව් වී තිබේ.

මේ රටේ යළිත් වතාවක් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් දැවැන්ත ජාතික අපරාධයක් හෙළිදරව් වී තිබේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි මාසේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිහිටා තියෙන ස්ථානයේම, එම සමාගම ලවාම තවත් මෙගා වොට් 300 ක බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කිරීමට කටයුතු කර තිබේ.

මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ විදුලිබල පනතට පටහැනි ආකාරයට සිදුවන්නකි. විදුලිබල පනතට අනුව මෙගා වොට් 25 ට වඩා වැඩි විදුලි බලාගාර කිසියම් සමාගමක් විසින් සිදු කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා රජයේ කොටසක් තිබිය යුතු අතර, එයට තරඟකාරී පදනමින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ යුතුය.

නමුත් එවැනි කිසිදු තරඟකාරී පදනමකින් තොරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් දැනට ලක්විජය බලාගාරය ගෙනියන CMAC සමාගමට මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කටයුතු පවරා තිබේ. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි.

ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනයට මහජන උපයෝගීතා කොමිසම පිහිටුවා ඇත.  එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විටින් විට දීර්ඝ කාලීන ජනන සැලසුමක් සකස් කරති. නමුත් දැනට මහජන උපයෝගීතා කොමිසම අනුමත කරන ලද දිගු කාලීන ජනන සැලසුමේ මෙගා වොට් 300 ක ගල් අඟුරු බලාගාරයක් ඇතුලත්ව නැහැ. මොකද මෙවැනි අදහසක් පසුගිය රජය කාලෙත් ඇතැම් අය ගේන්න උත්සාහ කළා, නමුත් අපි එයට විරෝධය පෑවා. ඒ නිසා ඒක හකුලාගන්න කටයුතු කළා.

දැනට මෙගාවොට් 900 ක් පුත්තලම බලාගාරයේ තියෙනවා. මේ මෙගාවොට් 900 ලැබෙන්න ඕන බලශක්තිය රටට ලැබිල තියෙනවද ?

2011 ඉඳන් මම මේ ගැන සංඛ්‍යා ලේඛන හැදෑරුවා. සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාරෙක ස්ථාපිත ධාරිතාවයෙන් අඩු වශයෙන් 85% ක් වාර්ෂිකව ලබාදිය යුතුයි. නමුත් මේ බලාගාරයේ ඒකක විටින් විට තමයි එකතු වුණේ. එවැනි ආකාරයට 85% ක තත්ත්වයක් කිසිම වසරක ලබාදී නැහැ. මේ තත්ත්වය හැදෑරුවට පස්සෙ පේන දෙයක් තමයි මෙතන මෙගාවොට් 200 ක ගල් අඟුරු බලාගාරයක් තිබුණනන් එහෙම ඒ මොගාවොට් 200 ගල් අඟුරු බලාගාරය ලබාදෙන විදුලියවත් ලබාදීල නෑ. ඒ කියන්නෙ මෙගාවොට් 900 දීල නෑ.

මෙම බලාගාරය ඉදිකිරීම් කටයුතු කරන අවස්ථාවේ 2006,07,08 සිදුවෙච්ච අක්‍රමික වැඩපිළිවෙල තමයි මේ සඳහා සම්පූර්ණයෙන්ම බලපාල තියෙන්නෙ. අපි ඕක නිවැරදි කරන්න 2010-11 දි කටයුතු කළේ නැත්නම් මේ තත්ත්වයවත් අද ඔය බලාගාරයේ නෑ. දැනටමත් මෙගාවොට් 200 ක හිඟයක් තියෙනව නම් තව මෙගාවොට් 300 ක් එතැනින්ම ගන්න ගියාම මොන වගේ තත්ත්වයක් රටට ඇතිවෙයිද කියන එක රටේ ජනතාව තේරුම්ගත යුතුයි.

මේ බලාගරයේ තව තාක්ෂණික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මුහුද රළු වෙන කාලටෙ මෙයට ගල් අඟුරු සපයන්න බෑ. මුහුද රළු නොවන කාලයේදීත් ඉතාමත් අපහසුවෙන් තමයි මෙයට ගල් අඟුරු සපයන්නෙ. බලාගාරයට මුහුදෙන් ඇරෙන්න වෙන පැත්තකින් ගල් අඟුරු සැපයීමේ තත්ත්වයකුත් නෑ. ඒ නිසා තවත් ගල් අඟුරු ප්‍රමාණයක් වැඩි කළොත් මොන වගේ තත්ත්වයක් උදාවෙයිද කියන එක කාටත් හිතාගන්න පුළුවන්.

2016 පමණ උද්ගත වෙච්ච තත්ත්වයක් තමයි ගල් අඟුරු හුළඟෙ ගිහිල්ල අවට ප්‍රදේශයේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙනව කියන එක. ඒකට අවශ්‍ය සුළං ආවරණ ආදිය ඉදිකරල නෑ. ඒ තත්ත්වය තුළ තවත් ගල් අඟුරු ගෙනත් දැම්මොත් මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද ?

මේ සඳහා පරිසර අධ්‍යයන වාර්තාවක් තිබිය යුතුයි. එවැනි කිසිදු නිල පරිසර අධ්‍යයන වාර්තාවක් මේ තාක් සිදුකරල නෑ මේ නව බලාගාරය සම්බන්ධයෙන්. ඒක නීති විරෝධී කටයුත්තක්. බලාගාරය පසුගිය කාලය දිව්වෙ මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීතිවලට පටහැණිව. ඉදිරියටත් මේ පරිසර නියමයන්වලට එරෙහිව මේක ක්‍රියාත්මක වෙනවනම් ඉතාම කණගාටුදායක පරිසර විනාශයක් ඒ අවට ජනතාවට භුක්ති විඳින්න සිද්ධවෙනවා.

අනෙක් එක තමයි මේ නිපදවන විදුලිබලය ගෙන එන්නෙ කොහොමද කියන එක. ඒක ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම ඉංජිනේරු මහත්වරු දන්නවා මෙතැනින් විදුලි බලය නිපදවූවාට සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාවක් නෑ මේ විදුලි බලය ගේන්න. එහෙම ධාරිතාවයක් නැතිව විදුලිය බලය නිපදවල කොහෙන්ද මේ නිපදවන විදුලිය ගේන්නෙ ? මෙන්න මේ වගේ බරපතල තාක්ෂණ අඩු පාඩු මෙහි තියෙනව.

මේ වසර 05 ක් ඇතුළත ආයෝජනය කරන්න යන්නේ හදිසි විදුලියට මුවාවෙලා. හදිසි විදුලියක් කියන්නෙ මේ වසර 05 කින් එන බලාගාරයකට නෙමෙයි. ගල් අඟුරු බලාගාරයක් හදිසි විදුලියක් වෙන්නෙ නෑ මාධ්‍ය වාර්තා කරල තියෙන ආකාරයට. රටට දැන් අවශ්‍ය මෙම ගල් අඟුරු බලාගාරය පුත්තලමේ ඉදිකිරීම නෙමෙයි, කෙරවලපිටියේ ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමයි.

ඒ කටයුත්ත නොකොට ගල් අඟුරු බලාගාර ගෙනඒම පිටිපස්සෙ තවත් ජාතික අපරාධයකට මඟ හසර සකස් කරනව කියන එකත්, අපි මේ ගණුදෙනුව ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටිනව කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරනා බවද  හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

t

o

p