මීගමුවේ ධීවර ගම් පිටින් මුහුදට බිලිවෙද්දී ‘කොළඹ පෝට්සිටියේ’ විනෝද උයනක් !

June 13, 2020

මීගමුවේ පෝරුතොට, පිටිපන ඇතුළු ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයට අයත් ප්‍රදේශ බොහොමයක් දරුණු වෙරළ ඛාදනයකට ලක්වෙමින් තිබෙන පසුබිමක කොළඹ පෝට්සිටි වරාය නගරයේ විනෝද උද්‍යානයක් තැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ පාලනය වන නාගරික සංවර්ධන ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය ලහි ලහියේ කටයුතු කිරීම මීගමුවේ ධීවරයන් ඇතුළු අප රටේ සමස්ත ධීවර ප්‍රජාවටම කරන දරුණු සරදමකැයි මීගමුවේ ධීවරයෝ මැසිවිලි නඟති.

දැනට ශීඝ්‍රයෙන් සිදුවන මෙම වෙරළ ඛාදනය සඳහා නිසි ප්‍රමිතියකින් තොරව කොළඹ පෝට්සිටි වරාය ආශ්‍රිතව මුහුද ගොඩකර අක්කර හයසිය හැත්තෑවකින් යුත් සුවිසල් පෝට්සිටි වරාය නගරය ගොඩනැඟීම සෘජුවම හේතු වී ඇති බව පවසන මීගමු ධීවර ප්‍රජාව වැඩිදුරටත් සඳහන් කරනුයේ මෙම වෙරළ ඛාදනය නිසා පසුගිය සතියේ පමණක් මීගමුව පෝරුතොට ප්‍රදේශයේ නිවාස තිස් ගණනකට පූර්ණ සහ අර්ධ අලාභ හානි සිදු වූ බවය.

මෙවන් පසුබිමක් යටතේ තම ධීවර රැකියාව සේම තම පාරම්පරික වාසභූමි ද අහිමි වන අතරේ අග්‍රාමාත්‍යවරයා හුදු මහජන විනෝදය සඳහා කොළඹ පෝට්සිටි වරාය නගරයේ අක්කර තිස්පහකින් යුත් විනෝද උයනේ කටයුතු කඩිනම් කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි එම ධීවරයෝ කියති.

කොළඹින් උතුරු සහ දකුණු ප්‍රදේශවල සිදුවන මෙම වෙරළ ඛාදනය සඳහා මහාද්වීපික තටාකය නමින් හැඳින්වෙන ගාලුමුවදොර ආශ්‍රිත මුහුද ගොඩ කොට පෝට්සිටි වරාය නගරය නිර්මාණය කිරීමේදී එහි පාදම නිසි ආනතියක් යුතුව සකස් නොකිරීම මත නිරිත දිග මෝසම් සමයේ බටහිර වෙරළ දෙසට ගසාගෙන එන රළ ප්‍රවාහය දෙකට බෙදී උතුරෙන් උඩප්පුව දක්වාත් දකුණෙන් බේරුවල දක්වාත් වෙරළ කලාපයට බරපතල හානි සිදුවන බවට කොළඹ පෝට්සිටි වරාය නගරය සැලසුම් කරන යුගයේම පරිසර විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් සහ වෙරළාසන්න ඉංජිනේරුවන් රජයට කරුණු ඉදිරිපත් කොට තිබිණ.

එහෙත් එම යෝජනා සියල්ල පසෙක හෙළා ඇමරිකානු ඩොලර් බිලියන පහලවක වියදමින් මෙම පෝට්සිටි වරාය නගරය නිර්මාණය කරන ලද්දේ මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ ‘කල්ප වෘක්ෂය’ වනු ඇති බවට අනාවැකි පළකරමිනි. එහෙත් එම දැවැන්ත ආයෝජනයේදී ශ්‍රී ලංකා රජය ඊට අදාළ ඉදිකිරීම් භාරදුන් චීන සමාගම සමඟ සිදුකළ ගනුදෙනුවල නිසි විගණනයක් හෝ පාරදෘශ්‍යභාවයක් නොමැති වීම මත මෙය අතිශයින් සැක සහිත මූල්‍ය හුවමාරුවක් බවට විවිධ පාර්ශ්වයන් විසින් චෝදනා ද එල්ල කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරන මීගමුවේ ධීවර ප්‍රජාව පවසනුයේ ඉහත සඳහන් ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ බටහිර බටහිර මුහුදු තීරයට සිදුවන බරපතල බලපෑම සහ එමගින් එම ප්‍රදේශවල ජනතාවට අත් වන විපත යටපත් කරනු පිණිස මෙම විනෝද උයන යොදා ගැනීමට අගමැති මහින්ද රජපක්‍ෂ මහතා සියුම් ලෙසින් සැලසුම් කොට ඇති බවට තමන් තුළ සාධාරණ සැකයක් පහළ වී ඇති බවකි.

මෙම කොළඹ පෝට්සිටි වරාය නගරය නිසා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට දරුණු බලපෑම් සිදුවන බව මුසාවකැයි රජයට සම්බන්ධ නිළධාරීන් පුන පුනා කීවද 1954 වසරේ අප්‍රියෙල් මාසයේ එලිසබෙත් මහ රැජින අතින් විවෘත වූ කොළඹ රැජින පාළම තැනීම මුල් කොට සිදු වූ මුහුද ගොඩකිරීම නිසා හැඳල, පල්ලියවත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක නිවාස සහ දේපළ විශාල ප්‍රමාණයක් ජනතාවට අහිමි වීමේ කතාව මතකයෙන් කිව හැකි විශාල පිරිසක් තවමත් එහි වෙසෙන බව ද එම ප්‍රදේශවල ධීවරයෝ කියති.

එමෙන්ම පසුගිය කොරෝනා ඇඳිරි නීති සමය තුළ කළුතර, අඟුලාන, ගල්කිස්ස යන ප්‍රදේශවල වෙරළ පෝෂණය කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල වෙරළට වැලි එක් කිරීම ද ඉතා අසාර්ථක ව්‍යාපෘතියක් බව මේ වන විට විද්‍යාත්මකව ද තහවුරු වී ඇත. කළුතර, අඟුලාන, ගල්කිස්ස යන ප්‍රදේශ මුල්කොට සිදුකරන ලද එම වැලි පෝෂණ වැඩසටහනේ ගල්කිස්ස වෙරළට කඩිමුඩියේ හෙලන ලද වැලි ඝන මීටර් එක් ලක්ෂ පනස් දහසක ප්‍රමාණය මුළුමනින් මුහුදට බිලි වූ බව ද මේ වන විට සනාථ වී තිබේ.

මෙය නෙදර්ලන්තය ආදී රටවල වෙරළ පෝෂණය කිරීම සඳහා යොදා ගනු ලබන sand enging ක්‍රමය බව පසුව වෙරළ සංරක්ෂණ බළධාරීන් ප්‍රකාශ කළ ද එය මුළුමනින්ම මුසාවක් බවත් ඒ අනුව එම වැලි මුහුදේ ගසාගෙන ගොස් ඊට උතුරෙන් ඇති වැල්ලවත්ත වෙරළ තීරය මීටර් පහලවකින් වර්ධනය වන බවට ඔවුන්ගේ ප්‍රකාශයේ තිබූ විශ්වාසවන්ත බව ජනතාවගේ සිත් සතන් වලින් මුළුමනින්ම සේදී ගොස් ඇති බවත් මේ වන විට තහවුරු වී ඇත.

මෙම මුහුදු තීරය සඳහා වැලි පිරවීමට පමණක් ජනතා බදු මුදලින් රුපියල් මිලියන එකසිය දහයක් වැය වූ බව පැවසෙන අතර මෙය ද කොන්ත්‍රාත් පදනම මත සිදුකරන ලද්දක් බැවින් මේ තුළ ද සුවිසල් මුදල් අවභාවිතාවක් තිබිය හැකි බව බොහෝ දෙනෙකුගේ මතයයි. දැනට අප රටේ පාලක බලය හොබවන රාජපක්‍ෂ පවුලේ කණිටු දේශපාලනඥයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවා මෙය අනියමින් පිළිගෙන තිබිණ.

නමුත් අප වෙත අනාවරණය වූ තොරතුරු වලට අනුව ගල්කිස්ස මුහුදු වෙරළේ සිදුකරන මෙම වැලි පෝෂණ ව්‍යාපෘතිය මගින් ගල්කිස්ස ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය තව දුරටත් පුළුල් වන බවට වෙරළ සංරක්ෂණ නිලධාරීන් ගල්කිස්ස සංචාරක හෝටල් බලධාරීන් පවා දැනුවත් කොට තිබිණ. නමුත් මෙලෙස තමන් ගල්කිස්ස මුහුදු වෙරළට වැලි හෙළනුයේ වැල්ලවත්ත වෙරළ පෝෂණය කිරීමට බව ඔවුන් පසුව ප්‍රකාශ කොට ඇත්තේ ‘කිතුල් ගහට නැග්ග මිනිහාගේ’ න්‍යායට අනුව බව මේ වන විට මනාව තහවුරු වී තිබේ.

එමෙන්ම මෙම වැලි පෝෂණ වැඩසටහන අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් බව බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ වෙරළබඩ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි, සාගර සම්පත් පිළිබඳ ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥවරියක් වන ආශා ද වෝස් යන ශ්‍රී ලාංකික විද්වතුන් ද පෙන්වා දී ඇත.

එමෙන්ම වැලි ප්‍රවාහනය සඳහා එතෙක් පැවැති බලපත්‍ර ක්‍රමය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්ව කෙටි කලකින් අහෝසි කිරීම නිසා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළාරක්‍ෂිත  ස්වභාවික වැලි පරය මහාපරිමාණ වැලි ජාවාරම් කරුවන්ගේ ගොදුරක් බවට පත්ව තිබිණ. 2004 වසරේ සුනාමි උවදුරින් කැළණි නදියේ මෝය ප්‍රදේශයට උතුරෙන් වූ වෙරළ තීරයට කිසිදු හානියක් නොවීමට මෙම වැලි පරය බෙහෙවින් උපකාරී වූ බව එවක පර්යේෂකයන් විසින් අනාවරණය කරන ලදී.

වැලි ජාවාරම් කරුවන්ට තම ජාවාරම් සිත් සේ කරගෙන යාමට ඉඩ දෙමින් වැලි ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමත් සමඟ වසර දහස් ගණනක් සුරැකිව තිබූ එම ස්වභාවික වැලි පරය ද මේ වන ශීඝ්‍රයෙන් කඩතොළු වීම මීගමුව ආශ්‍රිත මෙම වෙරළ ඛාදනයට ද සෘජු ලෙසම ඉවහල් වී ඇතැයි මීගමු ධීවරයෝ මැසිවිලි නගති. අතීතයේ ගැමියන් තම ධීවර ජනාවාස ගොඩනඟා ගත් වෙරළකන්ද නමින් හැඳින් වූ ස්වභාවික ආරක්ෂිත පවුර අද වන විට බිඳ වැටීම මුල් කොට මිගමුවේ පිටිපන වෙරළකන්ද නමින් ම හැඳින්වූ ග්‍රාමය ද මුළුමනින්ම වෙරළ ඛාදනයට ලක් වෙමින් තිබේ.

ඒ අනුව ඒවායේ පාරම්පරික ජනතාව දිනෙන් දිනම තම රැකියාව සේම උන් හිටි තැන් අහිමි ව මහ පාරට ඇදවැටෙමින් තිබේ. මෙම ජනතා ඛේදවාචකයට ඇහුන්කන් දෙමින් මෙම ප්‍රදේශ ආරක්ෂා වන පරිදි මෙම වෙරළ තීරය සඳහා සවිමත් ගල්වැටි යෙදීම වෙනුවට මෙම ධීවර පවුල් නිරාහාරව මහ මඟට ඇදවැටෙන පසුබිමක අගමැතිවරයා අලුතෙන් ඉදිවන කොළඹ පෝට්සිටි වරාය නගරය තුළ අක්කර තිස්පහක භූමි භාගයක් විනෝද කටයුතු සඳහා ලහි ලහියේ වෙන් කිරීම වත්මන් රජයේ මානව හිතවාදී බවේ සැබෑ ස්වරූපය එළි දක්වන්නක් බව මීගමු ධීවරයෝ කියති.

එමෙන්ම තමන්ගේ මෙම ජීවන අර්බුදයට විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරි කාලයේදී මිනිස් ජීවිත කීයක් රජයේ තුවක්කුවට බිලි කළ යුතු දැයි ඔවුහු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පාලක පන්තියෙන් අසා සිටිති. දමයන්ති ගමගේ          

t

o

p