ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සමාජ විද්‍යා සේම සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ද වෙසෙසින් කැපී පෙනෙන විද්වතෙකි. ඔහු පසුගිය දිනයෙක මා හා කීයේ මා ඉන් පෙර කිසිදා අසා නොතිබූ කතාවකි.
’‘මම පහුගිය දවසක අම්බලන්ගොඩ පැත්තේ විවාහ මංගල්‍යයකට සහභාගී වුණා. ඒක තිබුණේ සංචාරක හෝටලයක. ඒක ඒ පළාතේ ප්‍රභූ වරුන් හැටියට සම්මත පරම්පරාවලට අයිති තරුණ ජෝඩුවකගේ විවාහයක්. ඒ හින්දා ඒ මඟුලට ඒ පැත්තේ වැඩිහිටි ප්‍රභූ පිරිස් එහෙමත් සහභාගී වුණා”
ඔහුගේ කතා ප්‍රවේශය එබඳු වුව ද එම කතාවෙහි මගේ සිත් ගත් කොටස වූයේ ඉනික්බිතිව කී වදන් පෙළය.
“ඒ මඟුලට සහභාගී වුණු තරමක් වයෝවෘද්ධ නීතිඥ මහත්තයෙක් ආහාර ගත්තේ මාත් එක්ක; නමුත් මුන්නැහේ කෑම කන ගමන් මට කිව්වා; අපි බත් මාළු පිණි කන කොට ඔක්කොම එකට අනාගෙන කන එක වැරදියි. එතකොට ආහාරයේ නියම රසය ලබන්න බැහැ” කියලා; ඒ අනුව උන්නැහේ තමන් ගේ කෑම පිඟානේ පැත්තකින් තිබුණු මාළු පිණි එක එක අරගෙන බත් එක්ක වෙන වෙනම අනාගෙන තමයි කැවේ; ඒ එක්කම උන්නැහේ කිව්වා ඉස්සර ඒ පැත්තේ එහෙම සම්ප්‍රදායක් තිබුණලු. මහ ගත්කරු ඩබ්ලියු. ඒ සිල්වා, එතකොට මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා මුහන්දිරම් පඬිවරයා එහෙමත් අනුගමනය කළේ ඒ පිළිවෙත කියලත් ඒ නීතිඥ මහත්තයා කිව්වා; නරක ද ඔය ගැන තව ටිකක් තොරතුරු අධ්‍යයනය කරලා “අපි බත් කන විදිහ හරිද? කියලා ලිපියක් ලිව්වොත්.”
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ගේ එම කතාව අතරතුර දීම මගේ සිහියට නැංවෙන ලද්දේ දහ හත් වන සියවසේ එළිමහන් සිරකරුවකු ව පුරා වසර විස්සකට ආසන්න කාලයක් මෙරට එළිමහන් සිරකරුවකු ලෙස කල්ගතකළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ගේ සුප්‍රකට ග්‍රන්ථයේ එන සඳහනකි.
ඔහු අප රටේ ගත කළ සමයේ මෙරට රජ කම් කළ දෙවන රාජසිංහ (වර්ෂ 1635-1687) රජුගේ ආහාර ගැනීම පිළිබඳව නොක්ස් සඳහන් කරනුයේ මෙලෙසිනි.
’‘රජු ආහාර ගන්නේ සුදු පිරුවටයක් ඇතිරූ කුඩා මේසයක් ඉදිරියේ තබන ලද පුටුවකය. ඔහු කෙසෙල් පතක් අතුරන ලද රන් පිඟානක ආහාර ගනියි. රාජ භෝජනය සඳහා සැකසුණු ව්‍යංජන විසි තිස් ගණනක් මේසය මත තිබේ. රාජ භෝජනය සම්බන්ධ නිලමක්කාරයකු වන බත් වඩන නිලමේ එම භෝජන අතුරින් එකිනෙක රජු ගේ පිඟානට බෙදයි. ඒ මුව වැස්මක් ද පැළඳ ගනිමිනි”.
ඉහත සඳහන් විස්තරය අනුව ආචාර්ය අභයසුන්දරයන්ට අම්බලන්ගොඩ මඟුලේ දී හමු වූ වියපත් නීතිඥයාගේ ආහාර රටාව ආතක්, පාතක් නොමැති නරුම සිරිතක් සේ පිළිගන්නට මට ද නොපුළුවන. ඒ පිළිබඳව කිසියම් ඓතිහාසික සහ මානව විද්‍යාත්මක විමසුමක් කළ යුතුයැයි මට සිතුණේ ඒ අනුවය. බෞද්ධ සූත්‍ර පිටකයට අයත් විනය පිටකයෙහි සේම ගම්පොළ යුගයේ (වර්ෂ 1348-1468) ලියන ලද සර්ධර්මාලංකාරයට අනුව අපගේ ආහාර කොටස් හතරකින් යුතුය. ඒ ඛාජ්ජ, හෝජ්ජ, ලෙයිය, පෙයිය යනුවෙනි.
මෙහි ඛාජ්ජ යනු තදින් සපා අනුභව කළ යුතු ආහාර වර්ගයන්ය. භෝජ්ජ යනු සාමාන්‍යයෙන් සපා අනුභව කළ යුතු මෘදු ආහාරයන්ය. අපගේ ප්‍රධාන ආහාරය වන බත් ද මෙම භෝජ්ජ ගණයට අයත් වන බැවින් දෝ ඒ ඔස්සේ නිපන් භෝජන සහ බොජුන් යන වදන් අදටත් බහුල ලෙස ව්‍යවහාරයේ පවතී. බෞද්ධ පොත පතේ දැක්වෙන ආහාර රටාවේ එන ‘ලෙයිය’ නම් වන ආහාර වර්ගය ලෙවකන, තළු මරණ ආහාර වන අතර චතු මධුර ආදිය වශයෙන් සැලකෙන සූකිරි වැනි අතුරුපස මේ ගණයට අයත් වෙයි. මෙහි සිව් වන කොටසට අයත් පෙයිය යනු හුදෙක් පාන වර්ගමය.
මෙකී තත්වයන් යටතේ වුව ශ්‍රී ලාංකික අප විසින් අනුභව කරනු ලබන සකල විධ ආහාර අතුරින් බතට හිමි මුල් තැන අන් කිසිදු ආහාරයකට හිමි නොවන බව සහතිකය. අපට ආසන්නම ඉන්දියාවේ පවා ආහාර වර්ග බෙහෙවින් විෂම සහ සංකීර්ණ වන අතර සමාජ පැලැන්තිය අනුව ඒවා එකි’නෙකට වෙනස් වෙයි. ඒ වෙනස කොතෙක් ද යත් එරට මහ ධන කුවේරයන් අනුභව කරන ආහාර පිළිබඳව දිළින්දන් අසා වත් නොමැති අතර දිළින්දන් ගේ ආහාර සම්බන්ධයෙන් ධන කුවේරයන් ගේ දැනුම් පරිමාවේ තත්වය ද එබඳුමය.
නමුත් අප රටේ රජතුමාගේ සිට යාචකයා දක්වා තමන් ගේ ජීවිතය පවත්වා ගන්නා ලද්දේ බතින් ම බවත් වෙනස පවතිනුයේ එම ආහාර වේලක ඇති ප්‍රමිතිය සහ විවිධාංගීකරණය තුළ බවත් බොහෝ දෙනෙක් නොදනිති.
“අපේ රටේ ඉතිහාසය බුද්ධ ශාසනය සහ රාජකීයත්වය කියන සාධක දෙක මත පදනම් වෙලා ලියැවුණු හින්දා මානව ඉතිහාසය සැලකිය යුතු විදිහට යටපත් වෙලා තියනවා. ඒ හින්දා අතීතයේ අපේ රටේ ජීවත් වුණු සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳව ගවේෂණය කළ හැකි මූලාශ්‍ර තරමක් අඩුයි.” එදින මා හා කළ කතා බහේ දී ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් කී එම කතාවේ සත්‍යතාව මට වැටහී යන ලද්දේ අප රටේ පුරාණ ගැමියන් ගේ ආහාර පාන පිළිබඳව සම්මත ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් විමසීමට යාමේ දීය.
ඒ කෙසේ හෝ අප රටේ ජනතාවගේ සාම්ප්‍රදායික බත් පත පිළිබඳව පොදුවේ කරුණු ගෙන හැර බැලීමේ දී එහි ව්‍යංජන සත්ව සහ ශාඛ යනුවෙන් කොටස් දෙකකට බෙදෙන බව මූලිකව අනාවරණය කර ගැනීමට මට හැකි විය. එහි දී ශාඛ ප්‍රජාව නියෝජනය කෙරෙන ව්‍යංජන සඳහා ඵල වර්ග, කොළ වර්ග සහ අල වර්ග යොදා ගැණුනු අතර සත්ව ආහාර දිය මස්, ගොඩ මස් සහ ඒ දෙකටම අයත් පුළුටු ලෙස වෙන් කර ගත හැකි විය.
එහෙත් ථේරවාදී බෞද්ධ සාරධර්ම පාරම්පරික වශයෙන් තම චින්තන සම්ප්‍රදායන් තුළට ගොනු කරගෙන සිටි සිංහල ගැමියා ආහාර විෂයෙහි වුව තෘෂ්ණ හරිත නොවූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. බෞද්ධ විනයෙහි දැක්වෙන අන්දමට භික්ෂුව ආහාර සම්බන්ධයෙන් සිතිය යුතු වන්නේ ඉමස්ස කායස්ස ථිතියා (මේ කයෙහි පැවැත්ම) සඳහාය යන පදනමේ සිටය.
මෙය හැඳින්වෙනුයේ ප්‍රත්‍යවේක්ෂාව යනුවෙනි. අපගේ සාම්ප්‍රදායික සිංහල ජන සමාජයේ ආහාර සම්බන්ධයෙන් ම’විසින් දරන ලද මෙම මතය සාධාරණ ලෙස තර්ක ඥානයට පිවිසුවා ගත හැකි යැයි ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයෝ ද කියති. ඔහුගේ එම ‘සහතිකය’ මෙම ලේඛනය ඉදිරියට ගෙන යාම සඳහා සැලකියුතු රුකුලකැයි මට හැගෙනුයේ. ඔහු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති වරයකු ද වන බැවිනි.
අපගේ පැරණි බත් කෑමේ ක්‍රම පිළිබඳව වැඩිදුර විමසීමේ දී අතීතයේ මෙරට පැවැති ආහාර විවිධාංගීකරණය පිළිබඳව ගම්පොළ යුගයේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ ඇති මෙම සටහන සුළු කොට තැකිය නොහැක. එහි දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුවන් ගේ ඉහත ආත්මය පිළිබඳව කරන විස්තරයේ දී කම්මාරතිස්ස නම් කම්මල් කරුවකු වශයෙන් දිවි ගෙවූ කළ ඔහු සූකර මාංශය පස් ආකාරයකින් පිස දන් පූජා කළ බව සඳහන් ව තිබේ.
එකම මංශයක් පස් ආකාරයකින් පිසිය හැක්කේ කිසියම් දියුණු සූප ශාස්ත්‍ර දාමයකට අනුව පමණි. ඉන් අපට හැඟී යන්නේ කතුවරයා එම සිදුවීම ගෙන හැර දක්වන අනාදිමත් යුගය පසෙක තිබිය දී ගම්පොළ යුගය වන විට මෙරට සූප ශාස්ත්‍රය තරමක් හෝ විවිධාංගීකරණයකට ලක් ව තිබූ බවකි.
තත්වය මෙසේ වුවද මහනුවර රාජධානී සමයේ මෙරට පැවැති සූප ශාස්ත්‍ර ක්‍රම පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු වර්තමානය සතුව තිබේ. පැරණි පුස්කොළ පොත් පරිශීලනයෙන් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සූරීන් විසින් ලියන ලද කන්ද උඩරට රාජධානී සමයේ සූප ශාස්ත්‍රය සම්බන්ධ ග්‍රන්ථය ඒ සම්බන්ධ ප්‍රශස්ත නිමැවුමකි.
ඊට අමතරව 1816-1820 යන කාල සීමාව තුළ බ්‍රිතාන්‍ය යුද හමුදා වෛද්‍යවරයකු ලෙස මෙරට සේවය කළ ජෝන් ඬේවි විසින් ලියන ලද ලංකාවේ අභ්‍යන්තරය (Interior of ceylon) නම් කෘතියේ ද කන්ද උඩරට රාජ්‍යයේ රාජකීය සහ ප්‍රභූ ආහාර පිළිබඳව පැහැදිලි සඳහනක් තිබේ. එහි දී ඔහු සඳහන් කරන අන්දමට දළදා වහන්සේ උදෙසා පුද කරනු ලබන භෝජනයට සහ රාජකීය භෝජනයට ව්‍යංජන තිස් දෙක බැගින් තිබී ඇත.
එම ව්‍යංජන සඳහා මිරිස්, ලුණු, දෙහි, වියළි ගොරකා ඇතුළු රසකාරක යොදා තිබේ. ප්‍රභූන් ගේ ආහාරවලට කුකුළු මස්, දඩමස් සහ බිත්තර ඇතුළු වුව ද ඔව්හු ගව මාංශ ආහාරයෙන් මුළුමනින්ම වැලකී ඇත.
ඊට අමතරව සිංහලයේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රමරාජසිංහයන් ගේ රජවාසල ආහාර පිළිබඳව තවත් මූලාශ්‍ර කිහිපයක සඳහන් වන අතර කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ට අත්පත් කරදීමේ සම්බන්ධීකාරකයකු කටයුතු කළ ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ දින සටහන් වල දී ඒ සම්බන්ධ යම් යම් තොරතුරු තිබේ.
කන්ද උඩරට රාජධානි සමයේ ආහාර පාන සම්බන්ධයෙන් ජෝන් ඬේවි විසින් කරන ලද විස්තරයෙහි තවත් වැදගත් තොරතුරු තිබේ. එනම් එවක මෙරට ප්‍රභූන් බටර් සහ චීස් ගැන දැන නොසිටිය ද එළඟිතෙල් ආහාරවලට යෙදීමට දැන සිටි බවකි.
’‘අපේ හින්දු ක්‍රමයට බත් ව්‍යංජන ආහාරයට ගන්නකොට හුඟක් වෙලාවට යොදා ගන්නේ ව්‍යංජන වර්ග වෙන් වෙන්ව බත් එක්ක ආහාරයට ගන්න එක තමයි; හින්දු ආගමික සංස්කෘතික පසුබිම යටතේ ආහාර ගැනීමේ අධ්‍යාත්මික පක්ෂයකුත් කියනවා. ඒ අනුව ද්‍රවිඩ සංස්කෘතියේ අදටත් යම් තරමකට ඔය ව්‍යංජන කිරි මෝරු, රසම් වගේ දේවල් බත් එක්ක වෙන වෙනම ආහාරයට ගැනීමක් දකින්න පුළුවන්.
ආහාර වේල් සඳහා පස්ගෝ රසය වැඩිපුර භාවිතා කරන හින්දුන් ගේ ආහාර රටාවන් පිළිබඳව එලෙස විස්තර කරන ලද්දේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් විසිනි. යාපනයේ පේදුරු තුඩුවේ උපත ලත් ඔහු ඉන්දියාවේ මයිසෝරයේ දී තම ළමා විය ගත කොට තිබේ.
’‘අපේ සංස්කෘතියේ බත් කියන්නේ ව්‍යංජන එක්ක විතරක් කන කෑමක් නෙවෙයි. බත් එක්ක කිරි මෝරු එහෙමත් ආහාරයට එක් කර ගන්නවා. මස් මාංශ වලින් මුළු මනින්ම ඈත් වෙලා ඉන්න හින්දු භක්තිකයන් තුළ ඒ කිරි ආහාර ගැන යම් පූජනීය ආකල්පයක් තියනවා. මොකද ශිව දෙවියන්ගේ වාහනයත් ගවයෙක් නිසා” ආචාර්ය අරුලානන්දන් වැඩි දුරටත් එසේ කියයි.
ඒ අනුව ඔහු පවසා හිඳිනුයේ හිරු දෙවියන් ගෙන් මිනිසාට දායාද වන බත පළමුව සෞභාග්‍ය නියෝජනය කෙරෙන එළවළු, පළතුරු සමගත් දෙවනුව සශ්‍රීකත්වය නියෝජනය කෙරෙන කිරි නිෂ්පාදන සමඟත් අවසානයේ ශාක සාර, කුළු වඩු සහිත රසම් සමඟත් වෙන වෙනම අනුභව කිරීමෙන් ආහාර වේලක පූර්ණත්වය සනිටුහන් වන බවය.
“ඊට අමතරව එහෙම වෙන් වෙන් විදිහට බත් කන කොට එකම බත් වේලකින් රස කීපයක් උපදවා ගන්න පුළුවන්. දෙවියන් එහෙම නැත්නම් සොබා දහමින් දායාද කරපු රස නිසා තමයි. හුඟක් හින්දු භක්තිකයන් ආහාර ගැනීමේ දී අතිශයින් විනයවත් බවක් සහ සංවර බවක් පළ කරන්නේ.”
ස්වීඩනයේ, ගෝතම්බර්ග් විශ්ව විද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගෙන ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයන් අතරේ ඉහළම තැනකට පත්ව හිඳින මෙම විද්වතාණන් ආහාර අනුභවය සම්බන්ධයෙන් අප හමුවේ හෙළි කොට සිටින තම සංස්කෘතිය අන්‍යනතාව උගත්කම, ධනය, කීර්තිය හමුවේ තම අතීත සම්ප්‍රදායේ හා සංස්කෘතියේ අක්මුල් සිඳ ගත් අපේ ඇතැම් ඊනියා විද්වතුන් ද පාඩමකට ගත යුතු යැයි මට සිතෙයි.
තිලක් සේනාසිංහ