“පිරිපහදු කළ” පුනරුප්පත්ති කතාවක්!

June 9, 2020

ජීවය නිර්මාණය වී ඇත්තේ ජීවී සෛල විශාල ප්‍රමාණයක එකතුවක් ලෙසය. අප උපත ලැබූ දා පටන් අප ශරීරයේ සෛල මියයමින් වර්ධනය වෙමින් පවතී.කෙදිනක හෝ අප ශරීරයේ ප්‍රධාන පද්ධති අතර පවතින තුල්‍යතාව බිදී යනු ඇත.එය “මරණය” ලෙස හදුන්වයි.එනම් තවත් විදියකට කීවොත් අපගේ ශරීරයේ අඛණ්ඩව පවතින අස්නායුක හා ස්නායුක සමායෝජන ක්‍රියාවලිය බිදවැටීමයි.

අතීතයේ සිට මිනිස්සුන්ට විශාල කුතුහලයක් වූයේ මරණයෙන් මතු සිදුවන දේ කුමක්ද යන්න පැහැදිලි කරගැනීමය…එය අත්භූත සිදුවීමක් ලෙස ඔවුහු දුටුවහ.

ථෙරවාද බෞද්ධ,වෛදික,ජෛන,ශියා මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි,පුරාණ ග්‍රීක,බටහිර අප්‍රිකානුවන්, මුල් ඇමරිකානුවන් පුනරුප්පත්තිය විශ්වාය තුල එල්බගෙන සිටි අතර මෙය වසර 3000/3500 කට වඩා පැරණි විශ්වාසයකි.එනම් ලොව සියලුම ආගම් නිර්මාණය වන අවධිවල මේ විශ්වාසය සමාජය තුල තිබූ විශ්වාසයක් මිස ආගමක හෝ මතවාදයක ශාස්තෘවරයෙක් ඉදිරිපත් කල අදහසක් නොවන බවත් කිවයුතු වේ…

නැවත ඉපදීම පිලිබද කතා කරන විට ඒ පිලිබද විශ්වාස කරන බොහෝ අය එම විශ්වාසය තහවුරු කිරීමට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනුයේ පුනරුප්පත්තිය කියන දරුවන්‍ ය.මේවා මාධ්‍ය තුලින් ඉතාම අතිශෝක්ති වර්ණනා සමගින් පරීක්ෂණාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කරයි…මේවාට බොහෝ සහභාගී වන්නේ ව්‍යාජ විද්‍යාඥයන්‍ ය. එනම් විද්‍යාඥයන් මෙන් පෙනී සිටින පුද්ගලයන්‍ (Pseudoscientist) ය.

ඇත්තටම මේවා විද්‍යාත්මක පරීක්ෂණ නොවේ. මේවා ව්‍යාජ පරීක්ෂණ (Pseudoscientific investigations) වේ.මේවාගේ සිදුකරනු ලබන්නේ (Schizophrenia) වැනි මානසික තත්ත්වයෙහි සිටින අයෙක්ගෙන් මෝහනය මගින් පෙර ආත්මය විමසීම වැනි ප්‍රාථමික ක්‍රියාවලියකි…. 

නමුත් ලෝකයේ පුනරුප්පත්තිය පිලිබද නිවැරැදි ක්‍රමවේදයක් ඔස්සේ කල පරීක්ෂණද බොහෝ ප්‍රමාණයක් පවතී…නමුත් ඒවාට වඩා වඩාත් ජනතාව අතර යන්නේ අතිශෝක්ති වර්ණනා ඇතුලත් Pseudoscientific investigations ‍ය. ලංකාවේත් පුනරුප්පත්තිය පිලිබද කල පරීක්ෂණ කිහිපයක් පවතී…

ඒ අතරින් ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාව, කොත්මලේ ඥානතිලකාගේ පුනරුප්පත්ති කතාව ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් උසුලීය. 

         මා මෙහිදී ඉදිරිපත් කරන්නේ ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාවය…මෙම පරීක්ෂණයේ සම්පූර්ණ ගෞරවය හේතුවාදී සංගමයේ සාමාජික ගවේෂක තිලක් සේනාසිංහ මහතාට ලබාදිය යුතුය. 2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යලයේ 9 වසරේ ඉගෙනුම ලබන් සිටි ලක්ෂාන් නම් සිසුවෙකු හිටිහැටියේම ද්‍රවිඩ බසින් කතා කරමින් තමන් යාපනයේ පදිංචිව සිටි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක ප්‍රකාශ කොට සිටීමේ ප්‍රවෘත්තියක් 2006 සැප්තැම්බර් අවසන දින කිහිපය තුල නිකුත් කෙරුණු සිංහල ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම මේ ගැන පලවිය. මෙහි විශ්මය වූයේ සිංහල දරුවෙක් කිසිදු ආකාරයක දමිළ බස ඉගෙනගැනීමකින් තොරව දෙමළ භාෂාව කතා කිරීමය….

ඉතින් විද්‍යාවට අනුව කිසිවෙකුටත් නොදන්නා භාෂාවක් එකවිට කතා කිරීමට කිසිදු මනෝවිද්‍යාත්මක පදනමක් නොමැත. එසේම හේතුවාදීන් වන අපගේද තර්කයක් වනුයේ එසේ කිසිවෙකුටත් නොදන්නා භාෂාවක් අධ්‍යනයකින් තොරව කතා කිරීමට නොහැකි බවය….          මෙහිදී හාස්‍යෝත්පාදක සිදුවීම්ද නැතුවා නොවේ…

මේ දරුවා දෙමළ භාෂාවෙන් කතා කරන සිද්ධිය කනේ වැටුනු එකල කටාන විද්‍යාලෝක විද්‍යලයේ විදුහල්පතිවරයා සිතුවේ LTTE සංවිධානයේ පිරිමි වෙස් ගත් කොටි කෙල්ලක පාසලට පැමිණ ඇති බවය.එයට හේතු වූයේ ලක්ෂාන් පාසලට පැමිණ මාස දෙකකට නොඅඩු කලක් ගතවී ගොස් තිබීමත් එවකට අගවිනිසුරු වූ සරත් එන්. සිල්වා මහතාගේ මහගෙදර ඒ පාසල අසල පිහිටා තිබීමත් විය….

ඉන්පසු මේ ආරංචිය අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වහා ලක්ෂාන්ව පොලිසිය වෙත රැගෙන ගියහ.පොලිසියේදී සහමුලින්ම දැරියක ලෙස හැසිරුණු ඔහු පෙර කතාවම පොලිසියේදීත් කියා සිටියේය. ඒ වගේම ඔහු කියා සිටියේ අවුරුදු 12 කට කලින් බෝම්බයක් වැදී ඔහු මියගිය බවය….එසේම පියා සහ තම සොහොයුරාත් බෝම්බය හේතුවෙන් මියගිය බව ඔහු සදහන් කලේය….මේ කාලයේ විවිධ මාධ්‍යවේදීන් මේ කතාව රසවත් අයුරින් උඩින් පල්ලෙන් හොයා බලා විද්‍යාත්මක ස්වරූපයකින් පුවත් පත්වල පල කිරීමද ආරම්භ කරන තිබුනි. 

          පසුව ලක්ෂාන්ගේ මවද පොලීසියට කැදවනු ලැබීය.එහිදී ඇයද පැවසුවේ තම දරුවා එකදු දෙමළ වචනයක් හෝ නොදන්නා බවය. පසුව ලක්ෂාන්ගේ ලිංග බේදයද පරීක්ෂා කිරීමෙන් පසුව ලක්ෂාන් සම්පූර්ණයෙන්ම පිරිමි දරුවකු බවට තහවුරු කරගත් මීගමුව රෝහලේ වෛද්‍යවරු ලක්ෂාන් වැඩිදුර පරීක්ෂණ සදහා රාගම රෝහල වෙත මාරු කර යැවීය. ඒ 2006 සැප්තැම්බර් 29 දාය.          

             පසුව මේ පිලිබද ගවේෂණය කිරීමට ගිය තිලක් සේනාසිංහ මහතාට දැනගත හැකිවූයේ ලක්ෂාන් අංගොඩ මානසික රෝහල වෙත මාරුකර යැවූ බවකි.පසුව 2006 වර්ෂයේ ඔක්තෝබර් මස 3 වන දා තිලක් සේනාසිංහ මහතා අංගොඩ මානසික රෝහල වෙත යන්නේ ලක්ෂාන් හමුවීම සදහාය…නමුත් ඔහුට ලක්ෂාන්ව හමුවීම සදහා අවස්ථාව නොලැබී යන්නේ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ලක්ෂාන්ව බාහිර පුද්ගලයින් හට බැලීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ නිසාය.නමුත් ලක්ෂාන්ගේ පියා හමුවී තිලක් සේනාසිංහ මහතාට කතා කිරීමට අවස්ථාව හිමිවීම මේ පරීක්ෂණයේ හැරවුම් ලක්ෂයක් සටහන් කරන්නක් වූ බව නොවනුමානය….   

       ලක්ෂාන් අංගොඩ මානසික රෝහල තුල යකා නටන්නට පටන්ගෙන තිබුණි.එසේ වී ඇත්තේ ලක්ෂාන්ට සැබැවින්ම තිබුනේ මානසික රෝහලක නේවාසිකාගාරව ප්‍රතිකාර ලැබීමට තරම් දරුණු මානසික රෝගයක් නොවන නිසාවෙනි.ඔහුගේ පැවති මානසිකත්වයද තීව්‍ර කල නේවාසිකාගාර තත්ත්වය නිසා ඔහු ව්‍යසනකාරී (Distress) නම් තත්ත්වයට පත්ව සිටියේය….ලක්ෂාන් ඔහුගේ මව පවා හදුන්වා ඇත්තේ..”කව්ද ඇන්ටි කෙනෙක්” ලෙසින්‍ ය.             

 ලක්ෂාන් ඒ වනවිට බාරව සිටියේ මානසික රෝග පිලිබද විශේෂඥ මහාචාර්ය කේ.ඒ.එල් කුරුප්පුආරච්චි වෙතය.තිලක් සේනාසිංහ මහතා ඒ වනවිට මේ සම්බන්ධව පලකරන ලද ලිපි කියවා තිබූ කුරුප්පුආරච්චි මහතා තිලක් සේනාසිංහ මහතා වෙත දුරකථන ඇමතුමක් ගන්නේ මේ පිලිබද කතාබහ කරගැනීම උදෙසා ගවේෂණාත්මක ස්වරූපයකින්‍ ය..ඔවුන් දෙදෙනාගේ පරීක්ෂණ දත්ත වලට අනුව අපි දැන් මේ සිද්ධිය පිලිබද විද්‍යාත්මක සාක්ෂි විමසා බලමු….                   

  ලක්ෂාන්ගේ පියා සමග කතාබස් කල තිලක් සේනාසිංහ මහතාට දැනගත හැකිවූ කරුණු වලට අනුව ලක්ෂාන් 1992 දෙසැම්බර් 8 වනදා උපත ලබා ඇත.ලක්ෂාන්ට බාල සහෝදරයින් දෙදෙනෙකුත් සිට ඇත. බාලවියේදී ඔවුන්ගේ දෙමාපිය විවාහය දෙදරා ගොස් තිබේ. පියාගේ අවධානයද බොහෝ සේ අඩුවූ ලක්ෂාන්ගේ මවද පවුල රැකගැනීම උදෙසා ලොතරයි අලවිකරන්නියක් ලෙස සේවය කලාය.ඉතාම දුක් ගැහැට විදි ජීවිතයක් උරුම කරගත් ලක්ෂාන් ගෙව්වේ ඉතාමත් පීඩාකාරී ජීවිතයක් බවට සැක නැත…     

    විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරීම (Trancesexualism) ලෙස හදුන්වයි.නමුත් ලක්ෂාන් තුල තිබී ඇත්තේ ඒ තත්ත්වය නොවේ.තමන් ඇසුරු කරන සමාජය තම පෞරුෂය මුල්කොටගෙන ඇතිවන මානසික ගැටුම් (Conflict) මුල්කොට හටගන්නා මේ ආබාධය (Dissociative Identity Disorder) යනුවෙන් හදුන්වයි. බරපතල පීඩනයන්ට හා අපයෝජනයන්ට නතුවී ඇති මේ දරුවා සොරකමකට ව්‍යාපාරිකයෙකුගෙන් පහර කැමකටද ලක්වී ඇත..තම මිත්තනිය සමග ජීවත් වූ කටුක පීඩාකාරී ජීවිතයෙන් පැනයාමට ඔහු තීරණය කලේ ඔහුටවත් නොදැනීමය. එය භෞතික පරිසරයෙන් පැනයාමක් නොව, ඔහු තෝරාගත්තේ තමන්ට අතිශය අහිතකර බවක් පළකල සිංහලකමින් හා පිරිමිකමින්ය.තමන් ශ්‍රී රාජේන්ද්‍රම් රාජි නමින් සමාජය හමුවේ පෙනී සිටීමට ඔහුට ජීවනයක් ලැබුවේ උපවිඥ්ඥාණයෙහි (Subconscious) තීව්‍ර අවශ්‍යතාවයක් නිසාය…     

   කිසිදා ඉගෙන ගෙන නැති භාෂාවක් කතා කිරීම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බව අප හැමෝටම තේරුම් ගත හැකිය…එහෙත් කෙසේද මෙය සිදුවූයේ…???? ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ වයිකාලේ තඹරවිලය… හොදම උලු නිශ්පාදනය කරන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධ මේ ප්‍රදේශයේ උලු කම්හල් වල සේවය කරන වැඩිපිරිසක් කම්කරුවන් මන්නාරම වව්නියාව ආදී ප්‍රදේශවල පවුල් පිටින් පැමිණි දෙමළ ජාතිකයෝ වෙති…එම ප්‍රදේශවල දරුවන් සමග සිංහල මාධ්‍ය පාසලකට ලක්ෂාන්ද සහභාවී වී ඇති අතර ඔහුට එහිදී දෙමළ වචන නිතර අසන්නට ලැබී ඇත….තම මතකයෙහි ඇති ඌණතාවක් සපුරාලීම පිණිස කෙරෙන නන් දෙඩවීම විස්මෘති පූරක (Confabulations) ලෙස හැදින්වේ…

තමාට කියා ගැනීමට නොහැකි වූ අදහස් සමුදායක් අනන්‍ය නොවන භාෂාවක් ලෙස මුවින් පිටවීම (Neologism) ලෙස හැදින්වේ..එනම් ලක්ෂාන් කතා කර ඇත්තේ දෙමළ නොව ඔහු දන්නා දෙමළ වචන එකිනෙකට සම්බන්ධ කරමින් නොගැලපෙන වචන සමුදායක් ලෙස පමණි…රාගම රෝහලේදී දෙමළ භාෂාව දන්නා වෛද්‍ය ශිෂ්‍යයන් ගෙන පරීක්ෂා කර බැලූවිට මෙය පෙනී ගියේය. මෙම තත්ත්වය ව්‍යවහාරයේදී ජිහ්ව ගලනය (Glossolilia) යනුවෙන් හදුන්වයි….එමෙන්ම ඔහු පවසා ඇති රාමචන්ද්‍රන් රාජි නම් දැරියක් තඹරවිල ඔහු ඇසුරු කලබව පසුව දැනගත හැකිවිය…

එනම් ඔහුගේ උපවිඥ්ඥාණයෙහි Subconscious සදහන්වූ ඒ නම ඔහු මනසින් ගෙතූ අපූරු කතන්දරයට චරිතයක් ලෙස සහභාගී වූ ආකාරය පැහැදිලි වේ..ඔහු එම පාසලේ තම දමිළ මිතුරන්ගෙන් බොහෝ අවස්තාවල බෝම්බ ගසා පවුල් පිටින් මියගිය ආකාරය අසාඇත…මේ සංසිද්ධි එකිනෙකට සම්බන්ධ කරමින් ඔහුගේ ප්‍රාථමික පෞරුෂයෙන් (Primary personality) පැනයාම සදහා ඔහුගේ උපවිඥ්ඥාණය (Subconscious) අපූරු කතාවක් ගොතන ලදී….         

අවසානයේදී මහාචාර්ය කුරුප්පුආරච්චි විසින් ලක්ෂාන්ව ඖෂධ ප්‍රතිකාර සේම මානසික අපසරණය (Abreaction) වැනි ක්‍රම යොදාගන ඔහුගේ තිබූ මානසික තත්ත්වය පහ කරන ලදී…

ඉන්පසු ලක්ෂාන් හොද මානසික සෞඛ්‍යයකින් යුතුව සමාජගත විය.
තාරක වරාපිටිය, ලේකම්/මාධ්‍ය ප්‍රකාශක,ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

t

o

p