බයියාගේ සැබෑම හැඳුනුම්පත

June 8, 2020

වර්තමාන දේශපාලන ව්‍යවහාරයේ ජනප්‍රියතම ව්‍යවහාර අතරින් ‘බයියා’ යන්නට හිමි වනුයේ මුල් තැනකි. ඊනියා දේශප්‍රේමීත්වයක් මුල්කර ගැනීම මත දැනට ලෝකය පුරා ව්‍යාප්ත වන නව ලිබරල් වාදය ගැන තබා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය ආදී නූතන දේශපාලන සංකල්ප පිළිබඳවවත් දැනීමක්, වැටහීමක් නොමැතිව හුදු අතීතකාමය මත පදනම්ව දැහැමි රජෙකු යටතේ යටත් වැසියන් වීමට වුව කැමති ශ්‍රී ලාංකික පිරිස් සෙස්සන් විසින් මෙලෙස ‘බයියන්’ ලෙස හැඳින්වෙති. ඒ අනුව මෙම ‘බයියා’ ව්‍යවහාරය වර්තමානයේ සමාජ කරලියට පිවිස ඇත්තේ වත්මන් දේශපාලනය තුළ විශේෂයෙන් කැපී පෙනෙන රාජපක්‍ෂ පවුල් පදනම කෙරෙහි නතු වූ සිත් ඇති පිරිස් හැඳින්වීමට බව පෙනේ.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් තුළින් වුව අප රටේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය යන තනතුරු දෙකම එකම පවුලක සොහොයුරු දෙපළක් විසින් හොබවනු ලබන වත්මන් රජයේ ක්‍රියාකාරකම් මුල්කොට අවිචාරවත් ලෙස ඔවුනට ගැති වන පිරිස් විවිධ සමකාලීන සිදුවීම් කෙරෙහි දක්වන ගැති බව මුල් කොට සාඩින් බයියා, පරිප්පු බයියා, වැලි බයියා ආදී වශයෙන් හැඳින්වෙන බව රහසක් නොවේ.

මෙම ‘බයියා’ ව්‍යවහාරය සමාජ, දේශපාලන කරලිය තුළ වඩාත් ප්‍රකට වූයේ මහින්ද රාජක්‍ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් 2014 වසර සඳහා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය නිමා වී අසන ලද ‘කොහොමද බයියන්ගේ වැඩ?’ යන උපහාසාත්මක පැනය මුල්කර ගනිමිනි. ඒ කෙසේ හෝ තත්පර කිහිපයක් තුළ තමන් විසින් සිදු කරන ලද එම ‘බයි’ ප්‍රකාශය ගත වූ වසර හය පුරාම මෙතරම් ‘නැගලා යතැ’යි අන්‍යයයන් තබා අඩුම වශයෙන් රාජපක්‍ෂ මහතාවත් නොසිතන්නට ඇත.

එසේ නමුදු සියවස් කිහිපයක් මුළුල්ලේ අප රටේ වෙසෙන එක්තරා ජන කොටසක් ද ‘බයියන්’ නමින් හැඳින්වෙන අතර ඒ පසුපස ඉතා වැදගත් සමාජ මානව විද්‍යාත්මක පසුබිමක් තිබේ.

කන්ද උඩරට රාජ්‍යයට අයත් රට අභ්‍යන්තරයේ ප්‍රදේශවල ගැමියා හට මෙලෙස මුල්වරට ‘බයියා’ යන සරදම් නාමය එල්ල කොට ඇත්තේ පෘතුගීසි යටත් විජිත සමය (ක්‍රි. ව. 1505-1658) තුළ බව පෙනේ.

එවක පහතරට පාලනය කළ පෘතුගීසීන් යටතේ නව සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රවණතාවන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් එම නවීකරණය එක්තරා අභිමානයක් ලෙස සැලකූ බව පෙනේ. රතු මුහුද ඔස්සේ ආසියාවට එන අතරේ අරාබි වෙළෙඳුන් පෙරදිග රටවලින් ගොනු කරගෙන සිටි මුතු, මැණික්, ඇත් දළ සහ කුළුබඩු කොල්ල කෑ පෘතුගීසීහු ඒ සියලු සම්පත් පිරුණු අප රට හඳුන්වන්නේ ‘සෙයිලෝ’ යන නමිනි.

එනිසාම ඔවුන් පාලනය කළ ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ‘සෙයිලම’ යනුවෙන් හැඳින්විණි. අනතුරුව පහතරට බලය අත්පත් කරගෙන සිටි පෘතුගීසීන් සමඟ දැඩි සේ උරණ වූ කන්ද උඩරට රජ කළ දෙවන රාජසිංහ රජු එවක ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕලන්ද ජාතිකයන් ලවා පෘතුගීසී බලය මැඬලූ අතර ඉන්පසුව සිදු වූ ඕලන්ද ජාතිකයන්ගේ ක්‍රියාකාරකම් රටේ අභ්‍යන්තර ජනතාව දුටුවේ රජතුමා කළ ‘ඉඟුරු දී මිරිස් ගැනීමක්’ ලෙසිනි.

කන්ද උඩරට ජනතාව එසේ සිතුව ද ක්‍රි. ව. 1658 – 1796 තෙක් පැවැති ඕලන්ද සමයේ දී ඔවුන් පාලනය කළ පහතරට ප්‍රදේශවල අධ්‍යාපන, නීති, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සැලකිය යුතු සංවර්ධනයක් ඇතිවිය. එහෙත්, ඒ සංවර්ධනයේ උණුසුම කන්ද උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශවලට සම්ප්‍රේෂණය නොවීම මත පහතරට වැසියන් එවක සිංහලේ නමින් හැඳින්වුණු ප්‍රදේශවල ගැමියන් හඳුන්වන ලද්දේ ‘බයියන්’ ලෙසිනි. මෙහි සරල අරුත වූයේ සමාජමය වශයෙන් යාවත්කාලීන නොවී නූගත් ගැමියා යන්නය.

‘බයියා’ යන වදනින් සෘජු අරුතක් පළ නොවේ. එහෙත් සිරි ලියනගේ සූරීන් විසින් සම්පාදනය කරන ලද ජනශ්‍රැති ශබ්ද කෝෂයට අනුව ඉන් කු-ඩා ළමයා යන අරුත ද පළ වේ. මෙහිදී කුඩා දරුවන් ‘බත්’ යන්න ‘බයි’ යනුවෙන් උච්චාරණය කරන බව ද අප මෙනෙහි කළ යුතුය.

ඒ අනුව එවක රටට බත සැපයූ කන්ද උඩරට රාජ්‍යයේ වැසියන් හෙවත් රටට බත සපයන ගොවියන් ඒ අරුතින් ‘බයියන්’ ලෙස ද හඳුන්වන්නට ඇතැයි ද සිතිය හැකියි.

මේ අතර 1818 සහ 1848 යන වසර වල මතු වූ ඉංග්‍රීසි අධිරාජ්‍ය විරෝධී ජනතා කැරලි සමයේ කන්ද උඩරට රාජධානියෙන් හත්කෝරලය, නුවර කලාවිය ආදී ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්ට සංක්‍රමණය වී ඒවායේ තිබූ කුඩා වැව් ආශ්‍රිතව සරල කෘෂි ජීවන රටාවකට පිවිසි ගැමියන් ද බියෙන් පලා ආ පුද්ගලයන් හෙවත් බය වූවන් යන අරුතින් ‘බයියන්’ ලෙස හැඳින්වුණු බවට ද මතයක් තිබේ.

බයියන් යනු හුදෙක් ලාංකික ජන කොටසක් බැවින් ඔවුන් සඳහා වන ඉංග්‍රීසි වදනක් නැතැයි යමකුට සිතෙන්නට පුළුවන. නමුදු මුහුද නොදුටු මුහුදු ගමන් පිළිබඳ නොදත් තැනැත්තා යන අරුත ගෙනෙන landlubber යන ඉංග්‍රීසි වදන මීට ආසන්න අරුතක් පළ කරයි.

දාහතර වන සියවසේ දී පමණ ඉංග්‍රීසි බසට එක්වූ මෙහි මුහුද නොදුටු, මුහුදු ගමන් පිළිබඳව නොදත් යන්න වර්තමානයට අනුව බාහිර ලෝකය හා ජාත්‍යන්තරය පිළිබඳව නොදත් වශයෙන් අර්ථ ගැන්විය හැක. බයියා යන දේශපාලන උපහාසය ද එමගින් ගොඩනැගුණු බව පෙනේ.

ඒ කෙසේ හෝ පරගැති මානසිකත්වයෙන් යුතු පහතරට යටත් විජිත වැසියන් විසින් බයියන් ලෙස හඳුන්වනු ලැබීම තමන් හට දක්වනු ලබන ගෞරවයක් සේ එකල ඇතැම් ගැමියන් සැලකූ අතර අදත් එලෙස සලකන වැඩිහිටියෝ හත් කෝරලය සහ නුවර කලාවිය ආදී ප්‍රදේශවල සිටිති.

පසුගිය කාලයේ අප අතරින් සදහටම වෙන්වූ ප්‍රවීණ ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ද තමන් මිහින්තලේ වරදන්කල්ල නම් ගමේ වන්නිහාමි නම් පාරම්පරික වෙද මහතකුගේ පුතෙකු බවත් ‘අමුම අමු බයියකු’ බවත් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ආදියේදී පවා කී අයුරු අපට මතකය. ඒ බයිකම ඔහුට මහත් අභිමානයක් වූ නිසාම විය හැක.

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් බිහි වූ විදග්ධ සාහිත්‍යධරයකු සහ නාට්‍යකරුවකු වූ සයිමන් නවගත්තේගමයන්ගේ ලේඛනවල ද ‘බයියා මස්සිනා’ නම් චරිතයක් තිබේ. ඔහුගේ එක් කෘතියක පිදුමෙහි ද ‘බයියා මස්සිනා’ යනුවෙන් සඳහනක් තිබූ බව අපට මතකය. එහෙත් එය පුද්ගලයකු හැඳින්වීම පිළිබඳ සඳහනක් විනා යම් ජන කොටසක් හැඳින්වීම පිණිස කළ සඳහනක් නොවේ. ඉන් අපට හැඟෙනුයේ මෙම බයියා යන්න ඇතැම් පුද්ගලයන් හැඳින්වීම පිණිස ද යෙදෙන්නක් බවය.

එමෙන්ම සිංහලයේ විසූ පැරණි ගැමියන් කෙසේ වෙතත් නූතන නාගරිකයන් හැඳින්වීම පිණිස ද මෙම ‘බයියා’ යන වදන යෙදෙන වාර බොහොමයකි. පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන රන්ජන් සිල්වා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතරේ ද ‘බයියා’ නමින් හැඳින්වෙන පුද්ගලයෙක් විය.

එමෙන්ම එම වසරේදීම මාලිගාවත්තේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොමඞ් ගවුස් නමැත්තා ‘බයියා’ නම් පාතාල නායකයකුගේ ගෝලයකු බව ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. ඒ අනුව එදා මෙන්ම අදත් ගමේ මෙන්ම සිදාදියේද බයියන් හිඳින බව පිළිගන්නට අපට සිදුවෙයි.

පෘතුගීසීන් විසින් සෙයිලෝ යනුවෙන් හඳුන්වන ලද අපේ රට ඉන්පසුව පාලනය කළ ඕලන්ද ජාතිකයන් විසින් හඳුන්වන ලද්දේ සිලොන් සහ සෙලාන් යනුවෙනි. එය සිලෝන් යනුවෙන් හඳුන්වන ලද්දේ 1796 වසරේ සිට මෙරට පහතරට පාලනය භාරගත් ඉංග්‍රීසීන් විසිනි. අප රට යටත් විජිත පාලනයට නතු වූ ඒ යුග තුනේදීම පහතරට වැසියන්ගෙන් බයියා නම් වන මෙම උපහාසය සිංහලයේ ගැමියන් වෙත නිරතුරුවම එල්ල වන්නට ඇත.

වත්මන් සමාජ ආර්ථික පසුබිම යටතේ ශ්‍රී ලාංකීය මධ්‍යම පන්තිය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ශීඝ්‍රයෙන් විස්තාරණය වෙමින් තිබේ. ඒ අනුව ගම සහ නගරය අතර පවත්නා සමාජ, ආර්ථික විෂමතා බොහොමයක් සිඳී බිඳී යමින් පවතී. විශේෂයෙන් මහාමාර්ග, ප්‍රවාහන සහ සන්නිවේදන පද්ධති මගින් මෙම මධ්‍යම නව පන්තිය එකම ජාලයක් ලෙස බැඳී පැවතීම මත අතීතයේ බයියන් ලෙස හැඳින්වුණු ජන කොටස හුදෙක් නාම මාත්‍රයක් බවට පත්වෙමින් තිබේ.

ඉහත සඳහන් එෛතිහාසික සමාජ පසුබිම කුමක් වුවද පාර්ලිමේන්තුවේදී 2014 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන ගිරුවාපත්තුව යටත් විජිත ආක්‍රමණ වලට නතු වූ ප්‍රදේශයක් බැවින් එය බයියන්ගේ ප්‍රදේශයක් ලෙස සැලකිය නොහැක.

එහෙත්, එවන් පසුබිමක් තුළ වුව වත්මන් සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යුහය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැත්තා බයියෙකු ලෙස හඳුන්වන්නේ නම් එම න්‍යායට අනුව හා එකී ප්‍රකාශය මත පදනම්ව මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් හඳුන්වා ගත් ලෙසින්ම ‘බයියෙකු’ වනු ඇත.

තිලක් සේනාසිංහ

t

o

p