මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලීමක් සිදු නොකලේ වෙනත් මතයක සිටි නිසයි

June 3, 2020

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය ඒ කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3)පැවසී ය .

එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද ඒ කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ක්‍රියා කළේ නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය .

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු පෙන්වා දුන්නේ කොල්ලුපිටියේ සිය පෞද්ගලික නිවසට ඊයේ (03) පෙරවරුවේ පැමිණ සිටි හිටපු මැති ඇමතිවරුන් අමතමිනි .

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික  පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ විණැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය .
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් ගොනුකළ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය .

ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම ද අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පියවර ට නො එළැඹීමට තීරණය කළ බවද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් පසු ව ඒ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන සියල්ලක් ම සහාය දක්වන්නේ සමගි ජන බලවේගය ට බවයි .

කොරෝනා වසංගතයේ හමුවේ සම්පූර්ණයෙන්ම අසාර්ථකත්වයට පත් ව සිටින රාජපක්ෂවරුන්ගේ රජයට ඉහත පෙත්සම් ගොනුකිරීම මගින් ගොනු කිරීම මගින් අමතර ඔක්සිජන් දීමට සමගි බලවේගය ක්‍රියා කර ඇතැයි ද රවි කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ගොනුකළ නඩුව ට ද ඉහත නඩුවේ තීන්දුවෙන් බලපෑමක් එල්ල විය හැකි යැයි තමන්ගේ මතය බව ද රවි කරුණානායක මහතා එහිදී  පැවසීය .

අංජුල මහික වීරරත්න

t

o

p