තැපැල් ඡන්දය පහසුකම සදහා ලියාපදිංචිය 2020 මහා මැතිවරණය

June 3, 2020

පුරවැසියෙකු ලෙස ද, හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ ඉක්මන් අවධානය සදහා යොමු කරමි.

සාමාන්‍ය යෙන් ජාතික මැතිවරණයක දී රාජ්‍ය සේවකයින් ලක්ෂ හතකට වැඩි පිරිසක් තැපැල් ඡන්දය සදහා සුදුසුකම් ලබති. 2019 ජනාධිපතිවරණයේ 559, 514 දෙනෙකුට තැපැල් ඡන්ද හිමිකම් ලැබූ අතර, මාගේ මතකය ආසන්න වශයෙන් තැපැල් ඡන්දය 60,000 ක් පමණ තාක්ෂණික හේතු මත ප්‍රතිකේෂප වූ බව ය. 

මෙවර මැතිවරණය සදහා වෙනදාට වැඩි රාජ්‍ය සේවකයින් පිරිසක් අවශ්‍ය වන බව අවස්ථා ගණනාවක දී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කළේය.  සෑම ඡන්ද මධ්‍යස්ථානයකට සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරියෙකු පත් කිරීමට යෝජිත බව ද, පසුගිය දා පුවත්පත් මගින් දැනගතිමි.  ඒ අනුව, වෙනදාට වැඩි පිරිසක් අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි සදහා මහා මැතිවරණයේ දී යොදා ගැනීම සිදු විය යුතුය.

2020. මාර්තු 3 දිනැති තැපෑලෙන් ඡන්දය දීම චක්‍ර ලේඛනයට අනුව, තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම මාර්තු 16 දිනෙන් අවසන්වී ඇත.   දැනගන්නට ඇති පරිදි මෙවර තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සාපේක්ෂව අඩු පිරිසකි.    

ඡන්දය පුරවැසියන්ගේ පරම අයිතියකි.  එම අයිතිය තහවුරු කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමකි.   මහා මැතිවරණයේ දී ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවන රාජ්‍ය සේවකයින්/ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ඡන්ද අයිතිය සුරැකීම ද එයට ඇතුලත් ය.  

අධිකරණ තීන්දුවෙන් පසුව නැවත මැතිවරණ ක්‍රියාව ආරම්භව ඇති බැවින් ද, පසුගිය දිනවල පැවති තත්වය හේතුවෙන් තැපැල් ඡන්ද අයදුම් කිරීමට නොහැකිවූ පිරිස් සදහා අවස්ථාවක් ලබාදීමේ හැකියාව පවතී. එබැවින් තැපැල් ඡන්දය සදහා අයදුම් කිරීමේ අවස්ථාව අහිමු පිරිස් වෙත එම අවස්ථාව ලබාගැනීමට සුදුසු කාලයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

පුරවැසියෙකු ලෙස මෙම ඉල්ලීම සිදු කරන්නේ, රාජ්‍ය සේවකයින් විශාල පිරිසකට මෙමගින් අසාධාරණයක් සිදුව ඇති බව පැහැදිලිලෙසම හැගී යන බැවිනි.  පුරුවැසියෙකු ලෙස පොදු සමාජ යහපත උදෙසා වන මැදිහත්වීමක් ලෙස සලකා බව ද, කාරුණික දන්වමි.

රජිත් කීර්ති තෙන්නකෝන්

t

o

p