අද (01) උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයට සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ නොදී ආරක්ෂක අංශ යොදවමින්, පසුගිය කාලයේ ජනතාව රැවටීමට කූට නාටක හා මඩ ව්‍යාපාර සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙක් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්, ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම පිළිබඳව තිර නාටකයක් සමඟ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා විය.
මොකක්ද මේ ගල්කිස්ස වෙරළේ සිදුවූ දේ ? මොකක්ද එහි සත්‍ය සිද්ධිය ? ඒ සිද්ධියට පසුගිය ආණ්ඩුව සම්බන්ධයි ද ? ඒ ආණ්ඩුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ මා හෝ අමාත්‍යාංශය සම්බන්ධයි ද ? මෙය පරිසර හා වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියක් ද ? වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලියක් ද ? ජනපති සම්බන්ධයි ද? අගමැති සම්බන්ධයි ද?
මෙය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරන ලද, ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසර හා ස්වභාව සම්පත් මහවැලි අමාත්‍යාංශය යටතේ පැවතුණි. එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියාකළේ, ප්‍රභාත් ධර්මකීර්ති මහත්මා ය. එය මාගේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට කිසිදු සම්බන්ධයක් නොතිබිණ.
කලුතර කැලිඩෝ වෙරළ සහ ගල්කිස්ස හා රත්මලාන ආදී ප්‍රදේශවල වෙරළ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිශ්චිත කැබිනට් තීන්දුව ගෙන ඇත්තේ, 2020 ජනවාරි 22 වන දින ය. ඒ, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, පාලනය යටතේ ය. රෝඩ් නීල්සන් නම් සමාගම හරහා මෙම වසරේ මාර්තු මාසයේදී එය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා ධීවර ජනතාවගේ විරෝධතාව එල්ලවන හෙයින්, ඇඳිරි නීතියට මුවාවී කඩිමුඩියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා ආණ්ඩුවේ නායකයින් සහ මන්ත්‍රීවරු විශාල දේශපාලන වාසියක් ලබාගැනීමට කටයුතු කර ඇති බව පැහැදිළි ය. එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඒ පිළිබඳව මාධ්‍ය ප්‍රකාශ ද නිකුත් කර ඇති අතර, ඒවා ආණ්ඩුවට සම්බන්ධ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල පළකර තිබේ.
දැන් මොකද වෙලා තියෙන්නෙ ? යම්කිසි සිදුවීමක් හේතුවෙන් රුපියල් දසලක්ෂ අටසිය අනූවක් වැය කර පිරවූ වැලි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නැවත මුහුදට ගලාගෙන ගොස් තිබේ. එසේ වීමට හේතු දක්වමින් වෙරළ සංරක්ෂණ ආයතනය පවසන්නේ එය ස්වාභාවික ක්‍රියාවලියක් බවයි. නැවත එම වැලි ඇතිවන බවයි.
අද වත්මන් ආණ්ඩුව ගෙනයන්නෙ බොරුවෙන් හා වංචාවෙනි. විශේෂයෙන්ම හමුදා නිලධාරීන් දාල, බුද්ධි අංශ දාල රටේ ජනතාවගේ කොරෝනා මර්ධනය කිරීමට කටයුතු කළත්, තමන්ගේ හමුදා කඳවුරුවල කොරෝනා මර්ධනය කරගන්න බැරි ආණ්ඩුවක් බව ඔප්පු වී තිබේ. පසුගිය කාලයේ රටේ ආර්ථිකය පාලනය කරගැනීමට නොහැකිව, රාජ්‍ය අංශයේ සේවකයින්ගෙ වැටුප් ගෙවාගැනීමට නොහැකිව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කළ වත්මන් ආණ්ඩුව, මේ සියලු ව්‍යසන මධ්‍යයේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා අනෙකුත් අමාත්‍යාංශ හරහා දැවැන්ත ජාතික මංකොල්ලයක් ගෙනියමින්, ජගුප්සාජනක ලෙස සෑම ක්ෂේත්‍රයක්ම හොරකම හා වංචාව සමඟ ඉදිරියට ගෙනයමින් සිටිති.
මෑතකදී ICTA ආයතනයේ ප්‍රධානියෙක් විදියට කටයුතු කළ, ආචාර්ය සංජීව මහතා සිය තනතුරින් ඉවත් විය. එතුමාට ඉන් ඉවත්වීමට සිදුවූයේ, ජාතික හැඳුනුම්පත හරහා රුපියල් බිලියන 9 ක මහා වංචාවක් සිදුවන බව හෙළිදරව් කළ හෙයිනි. මේ අය ම තමයි වියත්මඟ ආදියේ කටයුතු කළේ. අද ඒ අය පවා රට තුළ සිදුවන මහා ජාතික මංකොල්ලය දැක සිය තනතුරුවලින් ඉස්ලා අස්වීම පවා සිදුකරති. ආණ්ඩුව තමන්ගේ සුපුරුදු කූට නාටකය නතර කර නොමැති අතර මාධ්‍ය සංග්‍රාමයක් කරමින් ජනතාවට තර්ජන ඉදිරිපත් කරමින් කටයුතු කරමින් සිටිති.
තොණ්ඩමන් මැතිතුමාගේ අවමංගල්‍ය කටයුතු සියලු නීති රීති කඩ කරමින් සිදුකෙරිණි. මේ මඟින් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරීන්, රට ඇතුලෙ විහිළු සපයන්නන් බවට පරිවර්තනය වී තිබේ. ආරක්ෂක අංශවල ගෞරවය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ගෞරවය ආදිය අද දේශපාලනමය වශයෙන් ව්‍යසනයට ලක්වෙමින් අද ඒ සියලු දෙනා ජනතාව ඉදිරියේ අවඥාවට ලක්වෙමින් සිටී.
එවන් තත්ත්වයක් තුළ තවත් කූට නාටකයක් මවමින් ගල්කිස්ස වෙරළ සෝදායාමේ ව්‍යසනය පසුගිය ආණ්ඩුවේ අපේ අමාත්‍යාංශයට දැමීමට උත්සහ කරති. මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළ සංරක්ෂණයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවනම් එය ඉතාමත් හොඳ දෙයකි. එය විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, විධිමත් සමාජ අධ්‍යයනයක් සිදුකර, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතු දෙයකි. නමුත් කලබලයෙන්, කඩිමුඩියේ, රහසේ දේශපාලන හා වෙනත් වාසි තකා වැඩකටයුතු කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ සිදුවෙලා තියෙන්නෙ. එහි තවත් ප්‍රතිඵල අපට අනාගතයේ දැකගන්න පුළුවන්.
මේ ආකාරයටම විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් නොකොට, විධිමත් විද්‍යාත්මක ක්‍රියාවලියකින් තොරව කඩිමුඩියේ වරාය නගරය ඉදිකිරීමට ද සියලු කටුයුතු සිදුකර තිබිණ. ඒ ආකාරයට වරාය නගරය ඉදිකරානම්, වරාය නගරයට අත්වෙන්නෙත් අද ගල්කිස්ස වෙරළට අත්පත්වෙච්ච ඉරණම ය.
2017 සිට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මෙවැනිම ව්‍යාපෘතියක් මාරවිල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රගතිය කුමක්ද යන්න මා දැනුවත් නැත. අනෙකුත් ප්‍රදේශවලත් මෙය සිදුකරන බව ප්‍රකාශ කර තිබුණු අතර එය ඉතා හොඳ වැඩකි. මේ ආණ්ඩුවේ තක්කඩින්ට, වංචනිකයින්ට හොඳ වැඩක්වත් කරන්න දැනුමක් නොමැත. වැඩ බැරි පිරිසකට ඉංජිනේරුමය කාර්යයන් සිකුළ නොහැක.
පසුගිය දිනවල හාල් මාෆියාව කඩන්න ගිහිල්ල හාල් මාෆියාව ඉස්සරහ දණ ගහපු අය, බාර් අරින්නෙ නෑ කියල හිටිඅඩියෙම බාර් ඇරපු හැටි, මේ සියල්ල පිටුපස තිබෙන ගණුදෙනු, ඉදිරි කාලයේ හෙළිදරව් වනු ඇත. කොවිඩ් වසංගතයත් මහා දැවැන්ත වංචාවක් බවට හරවා ගැනීමත්, සැනිටයිසර් එකේ ඉඳන් සිදුකළ වංචාවන්, විදේශවලින් රෝගීන් ආනයනය කිරීම ආදිය අනාගතයේ හෙළිදරව් වෙයි. මේවා මාධ්‍ය සංදර්ශනවලින් වහගැනීමට බැරිබව අණ්ඩුවට අප ප්‍රකාශ කර සිටිමු.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ වෙරළ තීරයේ තත්ත්වය පිළිබඳව ඉංජිනේරුමය ශක්‍යතා අධ්‍යයනයක් කර තිබුණි. අපේ අරමුණක් තිබුණ මේ වෙරළ තීරය විධිමත්ව ගොඩනගන්න. එලෙස විධිමත්ව ගොඩනැගීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් පමණයි අප සිදුකළේ. ඒක ක්‍රියාත්මක කිරීම අනාගතයට භාරයි. එය විධිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. මේ වැඩබැරි කල්ලිවලට, ජාවාරම හිතේ තියාගෙන ඉන්න කල්ලිවලට, කූට නාටකවලින් සංවර්ධනය කරන්න පුළුවන් කියල හිතන කල්ලිවලට නම් කවදාවත් මේ වෙරළ සංරක්ෂණය කරගන්න බෑ. රටේ ආර්ථිකය ගොඩනගන්නත්, අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකරන්නත් බෑ.
ජනතාව මර්ධනය කරල, ජනතාව පළවා හැරල, වෙරළ ඛාදනය වළක්වන්න බෑ. තුවක්කු පෙන්නල හාල්මිළ පාලනය කරන්න බෑ, ජනතාවට තර්ජනය කරල, ඇඳිරි නීතිය දාල, කකුලට වෙඩිතියනව කියල කොරෝනා මර්ධනය කරන්න බෑ, ආරක්ෂක අංශවල නිලධාරීන් අනවශ්‍ය රාජකාරීවල යොදවල ඒ හරහා රට පුරාම කොරෝනා බෙදන මධ්‍යස්ථාන ඇති කරපු අයට රටේ කිසිම දෙයක් කරන්න බැරි බව අද ඔප්පු වෙලා හමාරයි.
වෙරළ සංරක්ෂණය කිරීම අතිශය වැදගත් කටයුත්තක්. එය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින්ට අයත් කටයුත්තක්. එය නිවැරදිව සිදුකර නැත්නම් ඒ සඳහා ඔවුන් දඬුවම් ලැබිය යුතුයි. ඒවාට සම්බන්ධ මහවැලි හා වනජීවී දෙපාර්තමේන්තු හා ඒවා භාර ඇමතිවරයා ඒ සම්බන්ධව වගකිව යුතුයි.
එහි මුදල් හානියක් සිදුවී ඇත්නම් පොදු දේපොළ පනත යටතේ ඔවුන්ට නඩු පැවරිය යුතුයි. ඒ සඳහා කැබිනට් මණ්ඩලය, අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා, වගකිව යුතුයි. මේවා සම්බන්ධව බොරු ප්‍රචාර කරමින් පසුගිය ආණ්ඩුවට හෝ අපේ අමාත්‍යාංශයට පැවරීමෙන් පළක් නොවන බව ප්‍රකාශ කළ යුතුයි.
අපේ අමාත්‍යාංශය යටතේ අපි නිවැරදිව වරාය නගරය ගොඩනැගීම විධිමත් පරිසර අධ්‍යයනයකට, ශක්‍යතා අධ්‍යයනයකට, සමාජ අධ්‍යයනයකට යටත්ව සිදුකළා. ඒ වගේම කෙරවලපිටියේ මුහුදුවැලි සැපයීමේ ක්‍රියාවලිය පරිසර, සමාජ හා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකළා. අපේ ආදර්ශය අරගෙන වැඩකරන හැටි ඉගෙන ගන්න කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.