සැබැවින්ම corona මර්දනය සිදු කරන්නේ කවුරුන් විසින් ද ?

May 13, 2020

හදවතින් නොව බුද්ධියෙන් විමසන්නකොරෝනා  මර්දනයේදී 

1)ත්‍රිවිධ හමුදාවේ

2)පොලිසියේ 

3)සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 

සැබෑ භූමිකාවන් කවරේ ද ?

ජනමාධ්‍ය විසින් ජනමනස සකසන්නේ කුමකටද?

යුද්ධ කාළයට අදාළව විකාශයවූ  හමුදාවේ චිත්ත ශක්තිය වර්ධනය කරන ගීත කණ්ඩ සහ වීඩියෝ දර්ශන  නැවත නැවත  ප්‍රචාරය කරමින්ද , හමුදා පතිවරයා විසින් “නිලධාරීන් සහ සෙසු නිලයන් “ලෙස හමුදා  විනයට අනුව ඇමතිය යුතු හමුදා භටයන්ට “වීරෝදාර රණ විරුවන් ” ලෙස නිරන්තරයෙන්  ආමන්ත්‍රණය කරන අන්දමද  ජනමාධ්‍ය මගින් මේ අවස්ථාවේ දී  දිගින් දිගටම විකාශනය කරන්නේ   කවර හේතුවක් මතද ? 

යුද්ධයක් නොමැති කල ඔවුන්  වීරෝධාර රණවිරුවන් ලෙස  හදුන් වන්නේ ඇයි  ?  ඔවුන් වෛරසය සමඟ යුද්ධ කරනවද?

මා දන්නා පරිදි ඔවුන් විසින්  සිදු කරගෙන යන්නේ  නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමයි . හමුදා බුද්ධි අංශ මගින් රෝගී පුද්ගලයන් සමග ළඟින් ආශ්‍රය කළ අයවලුන් හඳුනාගැනීම කරනවා.මෙම කටයුතු දෙකම දැඩි ජීවිත අවදානමක් ගෙන දෙන ” වීරෝධාර “කටයුතු නොවෙයි .බොහෝ රටවල් සිය ඉතිහාසයේ කවර හෝ කලෙක යුද්ධ හෝ කැරලි වලට සම්බන්ධව ඉන් ජයග්‍රහණය ලබා තිබෙනවා .

ඉතිං එවිට ඔවුන් සදාකාලිකව ඒ ජයග්‍රහණය මත වීරෝදාර රණවිරුවන් ලෙස හඳුන්වා දෙන රටවල් තිබෙනවාද ?: 1971;සහ 1989 වසරවල  රට තුළ ඇතිවුණු කැරැල්ල මැඩ පැවැත් වූ පොලීසිය සහ හමුදාව ඒ නිසාවෙන් ම “වීරෝධාර රණවිරුවන් ” ලෙස එතැන් පටන්  හැඳින්වූවා ද  ? වීර, උදාර,රණ විරු යන වචනය පවා “වීර” සහ “විරු” ලෙස එකම වචනය මුලට සහ අගට යොදා  කරන වැරදි ව්‍යවහාරයක්. 

පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි.රටේ ඇඳිරි නීතිය බලපවත්වන්නේ නම් එයද,නිරෝධායන නීතිරීති බල පවත්වන්නේ නම් ඒවාද  නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි.රටේ නීතිය ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම ඔවුන්ගේ රාජකාරිය වනවා .ඔවුන්ද කොරෝනා රෝගය සමග යුද්ධ කරන්නේ නැහැ.ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය සමග  “යුද්ධ” කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

ඒ අතුරින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ මෙහෙවර අතිවිශිෂ්ටයි. වසංගතවේදී විශේෂඥ වෛද්‍යවරුන්,ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන්,ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වූ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය ජීවිත අවදානම පවා නොතකා සිදු කරන අති විශිෂ්ඨ කැපවීමත්,නිරන්තරයෙන් රෝගීන් සමග ගැටෙන, සමහර විට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන් වෙනත් රෝග සඳහා පැමිණ සිටිය හැකි විටදී පවා සිය ජීවිත අවදානම ද නොතකමින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෙහෙසෙන හෙද කාර්ය මණ්ඩලය , රෝහල්  කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ අතුරු වෛද්‍ය කණ්ඩායම් පමණක් නොව රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කරන සේවකයන් පවා මෙම කොවිඩ්19  යුද්ධයේ සැබෑ වීරයන් වනවා කොරෝනා රෝගීන් බව තහවුරු කර ගත් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වලට වඩා එසේ තහවුරු කර ගැනීමකින් තොරව වෙනත් රෝග හෝ හදිසි අනතුරු සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සේවකයන් ඉන්නේ දැඩි අවදානමක.

මොකද බොහෝ ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා යම් හෙයකින් එවන් රෝගීන් අතර ආසාදිතයකු සිටියේ නම් ඔහුට ප්‍රතිකාර කරන සමස්ත  සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටම රෝගය බෝවීමේ අවදානමක් තිබෙනවා.රෝහල් වලට ප්‍රතිකාර පතා එන සියලුම රෝගීන් සඳහා  PCR පරීක්ෂණ සිදු සිදු කිරීමට හැකියාවක් නැහැ.එමෙන්ම හදිස්සි අවස්ථාවලදී එවන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ ද නැහැ .

සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටම  පෞද්ගලික ආරක්ෂක ඇඳුම් (personal protective equipments )නිරතුරුවම පැළඳ සිටීමේ හැකියාවකුත් නැහැ.මේ නිසා ඔවුන් සියලු දෙනා දැඩි ජීවිත අවදානමකින් යුක්තව  කටයුතු කරන බවයි  යථාර්ථය වන්නේ 
සාමාන්‍ය පුද්ගලයන් සමග මිශ්‍ර වී සිටින ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශයක ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුමක් ආරම්භ කරන හමුදා අනුඛණ්ඩයක් වගේ තමා රෝගියෙකු හමු වූ ප්‍රදේශයේ තවත් රෝගීන් සිටිදැයි සොයා බැලීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමුඛ මහජන සෞඛ්‍යය  පරීක්ෂකවරුන් සිය මෙහෙයුම කරනු ලබන්නේ .

හමුදා භටයන්  සොයා යනු ලබන්නේ ඇසට පෙනෙන  ත්‍රස්තවාදීන් වුවත්,සෞඛ්‍ය සේවකයන් සොයා යනු ලබන්නේත්, සටන් කරන්නෙත් ඇසට නොපෙනෙන සතුරන් සමගයි .මුහුණ ළඟටම පැමිණ සිරුරට ඇතුළුවී තමන් ග්‍රහණයට ගන්නා තුරුත් එම සතුරන් පෙනෙන්නේ නැහැ.එපමනක් ද නොව,තමා පමණක් නොව තමන් ආශ්‍රය කරන අයද,පවුලේ සමීපමයන් ද ආදී විශාල පිරිසක් ඉන්  අනතුරුව මෙම නොපෙනෙන සතුරා විසින් ග්‍රහණයට ගනු ලබනවා සාම්පල් ගන්න නහයට, උගුරට එම උපකරණ ඇතුළත් කරන සෞඛ්‍යය නිලධාරීන් , හදිසි අවස්ථාවලදී  හුස්ම ගැනීම සඳහා ශ්වසන මාර්ගයට ආධාරක භට සවිකරන වෛද්‍යවරුන් සිදු කරන්නේ හරියට හමුදා භටයන් විසින්  බෝම්බ නිෂ්ක්‍රීය කරනවා හා සමාන දෙයක් .

බිම්බෝම්බ නිෂ්ක්‍රිය කරන්නේ එක සෙබළකු වුවත් .රෝගියාට ප්‍රතිකාර කිරීමේ දී ඇසට නොපෙනෙන මෙම “බෝම්බය” නිශ්ක්‍රීය කිරීමට බොහෝ සෞඛ්‍ය සේවකයන් එක්වනවා එවිට එම සැම පුද්ගලයන්ගේම ජීවිත වලට ලොකු අවදානමක් ඇති වෙනවා.කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මාධ්‍ය වලට ප්‍රකාශයන් ලබාදෙන පුද්ගලයන් කොවිඩ් සටනේ නියමුවන් ලෙස දක්වමින් ඔවුන්ට ජාතියේ උපහාරය පිරිනමන බවට  ඔවුන්ගේ ඡායාරූප සහිතව විශාල  කටවුට් දැන්වීම් කොළඹ නගරයේ ප්‍රදර්ශනය කොට තිබෙන අයුරු අන්තර්ජාලයේ දක්නට ලැබුණා .ඇත්තටම මාධ්‍ය ප්‍රකාශකයන් වීරයන්  වුණේ කොහොමද ?යුද්ධ කාලෙදි ශවේන්ද්‍ර සිල්වා වත්මන් හමුදාපති තුමා සිය භට ඛණ්ඩය මෙහෙයවමින් සටන් භූමියේ ඉදිරියෙන් සටන් කරනු අපි ජනමාධ්‍යයෙන් නරඹනු ලැබුවා.

එම සටන් පිළිබඳව  මාධ්‍ය ප්‍රකාශ ලබාදුන්  මාධ්‍ය ප්‍රකාශකයන් කිසිවිටෙක එම සටනේ නියමුවන් ලෙස හැඳින් වූයේ නැහැ .මහජනතාව පිළිගනු ලැබුවේ ද යුද්දයේ සැබෑ වීරයන් වන්නේ යුද  භූමියේ සටන් වැදුණු ශවේන්ද්‍ර සිල්වා වැනි හමුදා නිලධාරින් බවයි කොරෝනා මර්දනය කිරීමේ මාධ්‍ය මෙහෙයුමේ නියමුවන් ලෙසින් ඔවුන් හඳුන්වන්නේ නම් එහි කිසිදු ගැටලුවක් නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ පොලිස්පතිවරයා පසෙක සිටියදී  නිරතුරු වම  පොලිස් නීති කොට්ඨාශය භාර  නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රකාශයන් ජන මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන්නේ කවර හේතුවකට දැයි සිතාගන්න බැහැ. කෙසේ හෝ ඔහුත් මේ වන විට ජනමාධ්‍ය මගින් වීරයකු කොට අවසන් .පසුගිය යුද්ධ සමයේ ක්‍රියාන්විතයේ යෙදුණු හමුදා භටයන් විශාල ප්‍රමාණයක් තුවාල ලද විට ප්‍රතිකාර  කළේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වුවත්  .ඇත්තෙන්ම   යුද්ධය සිදු කළේ  හමුදා භටයන්. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සිය සම්පූර්ණ පිරිස් බලය භාවිතා කළා . 

සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කළේ උපකාරක සේවාවක් පමණයි, එනිසා යුද්ධයේ ගෞරවය සම්පූර්ණයෙන්ම ත්‍රිවිධ හමුදාවන්ට හිමි විය යුතුයි .කොරෝනා  මර්දනයේදී ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලයෙන් 1% ක්වත් ඒ සඳහා  යොදවා නැහැ .නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ  සියලුම කාණ්ඩවලට අයත් සෞඛ්‍ය සේවකයන් සියලුම දෙනා එනම් ලක්ෂ ගණනක් මෙම රෝගය  මර්දනය සඳහා යොදා ගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන මේ අවස්ථාවේ දී , ඒ සියල්ල පසෙක තබා හමුදාව සහ පොලීසිය මෙම වෛරස සමඟ කරන සටනේ ප්‍රමුඛයන් බවට පත් කිරීමට ජනමාධ්‍ය විසින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් .කිසිදු සෞඛ්‍ය සේවකයෙක් කොරෝනා මර්ධනය කිරීමේ දී සිය ජීවිතය පිළිබඳ වත් නොසලකා සේවය කිරීම පිළිබඳව වූ ගෞරවයක් ඉල්ලා සිටින්නේ නැහැ .

මොකද මේ අපගේ රැකියාවයි.මෙවන් අවස්ථාවල  රැකියාවේ අවදානම අප සියලු දෙනාවිසින් දරාගැනීමට සිදුවෙනවා එය වීරකමක් ලෙස හැඳින්වීමට අවශ්‍ය වන්නේ නැහැ .නමුත් සියලු සෞඛ්‍ය සේවකයන් සිදු කරන එම කැපවීම තුළින් ලබන ජයග්‍රහණයන් සඳහා වෙනත් පුද්ගලයන් හෝ කණ්ඩායම් වලට වීරත්වය ආරෝපණය කිරීමට ජන මාධ්‍ය කටයුතු කිරීම බොහෝ සෞඛ්‍ය සේවකයන්ගේ  සිත් කලකිරීමකට ලක් කොට තිබෙනවා.

රටේ සියලුම දේවල් හමුදාවට සහ පොලීසියට පමණක් කළ හැකි බවත් ඔවුන් සදා කාලික ” වීරෝධාර රණවිරුවන්”  බවටත් වන  මහජන මතයක් ඇති කිරීම සඳහා කටයුතු කිරීම ජන මාධ්‍ය විසින් සිය වගකීම අව භාවිතා කිරීමක් බව කිව යුතු වනවා 
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA)LLB (OUSLCER PSYCHOLOGY AND COUNSELING )

t

o

p