චීනයට එරෙහිව එල්ල කර ඇති පරස්පර විරෝධී අසත්‍ය චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා‍ ගෙන් පිළිතුරු

May 13, 2020

1 / තානාපතිතුමනි, COVID-19 හි මූලාරම්භය චීනයෙන් ඇති වූ බව ඔබ පිළිගන්නවාද? නැතහොත් එය වෙනත් තැනකින් ආරම්භ වූවක් යැයි ඔබට හැඟෙනවාද? පළමු වරට මෙම නව COVID-19 මිනිස් දේහ තුළ වාර්තා වුණේ වුහාන් වලදී. පසුව එය විශාල ලෙස ව්‍යාප්ත වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය, Lancet සහ Nature ඇතුළු ලොව ප්‍රමුඛ සෞඛ්‍ය ආයතන ගණනාවක් අදාළ ප්‍රශ්නයට නැවත නැවතත් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ COVID-19 හි මූලාරම්භය විද්‍යාව පිළිබඳ කාරණයක් වන අතර එය නිගමනය කළ හැක්කේ වෘත්තීය පර්යේෂණ සහිත විද්‍යාඥයින්ට පමණක් බවයි.

එසේ නොමැතිව කිසිදු දේශපාලනඥයෙකුට හෝ මාධ්‍යයකට උපකල්පන හෝ ගොතන ලද තොරතුරු මත එය ප්‍රකාශ කළ නොහැක. මුලින්ම වෛරසය වාර්තා වූ ස්ථානය, වෛරසය ජනනය වූ ස්ථානය වීම අනිවාර්ය නොවේ. තවද, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ, බොහෝ කලින් රෝගීන් සොයා ගත් බව මෑත අධ්‍යයනයන් මගින් අපි දුටුවා. වෛරසය එක්සත් ජනපදයෙන් හෝ යුරෝපයෙන් හෝ වෙනත් තැනකින් පැමිණිය හැකි යැයි සැක කිරීමට එය ඉවහල් වෙනවා. කෙසේ වෙතත්, චීනය සැමවිටම අවධාරනය කරන පරිදි, ජාත්‍යන්තර විද්‍යාඥයින්ට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවෙන් අපට වැඩි ඉවසීමක් අවශ්‍යයි.

2 / ආරම්භක අවධියේදී චීන රජය මෙම වෛරසය සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස ක්‍රියා නොකළ බවට චෝදනා තිබෙනවා. විශේෂයෙන්ම තොරතුරු ද යටපත් කිරීම හා සඟවා තැබීම තුළින් මෙම වසංගතයට ලෝකය සූදානම් වීම වැළැක්වුණු බව චෝදනාවක්. මෙම චෝදනා වලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? චීනය විසින් එවන් වසන් කිරීමක් කර තිබේ ද?

මෙම චෝදනා ප්‍රධාන වශයෙන් මතු වූයේ ඇතැම් බටහිර දේශපාලනඥයින් සහ මාධ්‍ය විසින්. ඔවුන් චීනයට එරෙහිව චෝදනා නගන ආකාරය දැකීම කුතුහලය දනවන කරුණක් වන්නේ, වසංගතය ඔවුන්ගේ රටවල පාලනයෙන් බැහැරව නරක අතට හැරී යාමෙන් පසුව පමණක් මෙම චෝදනා නැගීමයි. කාලය අප පුදුමයට පත් කළේ, ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ, අවධානය වෙනතකට යොමු කර ඔවුන්ගේම අකාර්යක්ෂමතාව වසන් කිරීමටයි.

ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව සහ වෛද්‍ය වෘත්තිකයින් චීනයේ වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාමාර්ගවල වේගය හා තීව්‍රතාවය‍ට ප්‍රශංසා කළා. වෛරසය පැතිරීම ඵලදායී ලෙස වළක්වා චීනයේ සහ ලෝකයේ මිලියන ගණනක් අහිංසක මිනිසුන් බේරා ගැනීමට එය හේතු වූ බව ඔවුන්ගේ මතයයි. ඊට අමතරව චීනයේ තොරතුරු හුවමාරුව ද ඉතා විනිවිදභාවයකින් යුක්තව සිදු කෙරුණා. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනයේ උත්සාහයන් ජාත්‍යන්තර ප්‍රජාවට වටිනා කාලයක් සහ අත්දැකීම් ලබා දී තිබෙනවා. චීනයේ කාල රේඛාව මේ සියල්ල පැහැදිලි කරනු ඇති.  

හාස්‍යයට කරුණ වන්නේ, මාස කිහිපයකදී සහ මරණ දහස් ගණනකට පසුවත්, චීනයට දිගින් දිගටම චෝදනා කරන ඇතැම් රටවල්, තවමත් එය බැරෑරුම් ලෙස නොසලකන අතර, චීනය අනුගමනය කළ දැඩි වැළැක්වීමේ සහ පාලන ක්‍රියාමාර්ග ගැනීමට තවමත් නොහැකි වී තිබීමයි. විශාල පරිත්‍යාගයකින් අපි ඔවුන් වෙනුවෙන් දිනාගත් වටිනා දේ නාස්ති කිරීම දැකීම කණගාටුවට කරුණක්. චීනය එතරම් වාසනාවන්ත වුණේ නැහැ. එකල අප මුහුණ දුන් දෙය මුළුමනින්ම නොදන්නා වෛරසයක්. එය අධ්‍යයනය කිරීම සඳහා පැහැදිලි ක්‍රියාවලියක් අවශ්‍ය වුණා.

3 / මෙම වසංගතය සහ එහි බරපතලකම පිළිබඳව චීනය සැබවින්ම වටහාගත්තේ කෙසේද? වෛරසය පිළිබඳව චැට් කණ්ඩායමකට අනතුරු ඇඟවීම් ලබාදුන් වෛද්‍ය ලී වෙන්ලියන්ග් හරහාද?

මා සඳහන් කළ පරිදි, නව වෛරසය පිළිබඳ අපගේ දැනුම හා අවබෝධය සඳහා ක්‍රියාවලියක් අවශ්‍යයි. මෙම ක්‍රියාවලියේදී වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. වෛද්‍ය ලී වෙන්ලියන්ග් අක්ෂි වෛද්‍යවරයෙක් වූ අතර සමාජ මාධ්‍යවල ඔහුගේ උපකල්පනය ආරම්භයේදීම COVID-19 වෙනුවට SARS ගැන වූ බව ද සැලකිල්ලට ගත යුතුයි. එකල මෙම නව වෛරසය ගැන අප කිසිවක් නොදැන සිටි බැවින්, සමාජ මාධ්‍යවල වසංගත ආශ්‍රිත අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රවේසම් සහගත ආකල්පයක් ගැනීම පළාත් පාලන ආයතනවල සාමාන්‍ය සිරිතක්. ශ්‍රී ලංකා රජයත් ඒ හා සමානව සුපරීක්ෂාකාරීව සිටිනවා. එය අවශ්‍ය බව මගේ මතයයි.

4 / මෙම වෛරසය වුහාන්හි රහස් විද්‍යාගාරයකින් ආරම්භ වූ බවට වැඩි වැඩියෙන් චෝදනා තිබෙනවා. ඔබ මේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? මෙය සතෙකුගෙන් ආරම්භ වූයේ දැයි තවමත් සිතනවාද?

එක්සත් ජනපද හමුදා ජීව විද්‍යාගාරයකින් වෛරසය පැමිණි බවට පිළිබඳ කටකතා රාශියක් මටත් අසන්නට ලැබුණා. කෙසේ වෙතත්, මා පැවසූ පරිදි, මේ දක්වා බලයලත් විද්‍යාත්මක ප්‍රජාව තවමත් විශ්වාස කරන්නේ වෛරසය ස්වභාවධර්මයෙන් පැමිණි බවයි. ඔවුන්ගේ නිගමනයට වැඩි වැඩියෙන් සාක්ෂි තිබෙනවා. කරුණු සහ විද්‍යාව ඉක්මවා යමින් බොරු හෝ කටකතා විශ්වාස කිරීමට කැමති අය සිටීම, සැමවිටම කණගාටුවට කරුණක්.

5/ COVID-19 සම්බන්ධ චීනයේ මතය පිළිබඳව නොසතුටින් සිටින බව බොහෝ රටවල් පවසනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ වසංගතයේ මූලාරම්භය පිළිබඳව මෙන්ම මුල් යුගයේ වසංගතයට චීනය දැක්වූ ප්‍රතිචාර පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි. මේ ගැන ඔබට කුමක් කිව හැකිද?

ඇත්ත වශයෙන්ම , ඇතැම් දේශපාලනඥයින් එවැනි අදහස් දක්වා තිබෙනවා. නමුත් මෙම හඬට ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධාන ධාරාවේ අදහස නියෝජනය කළ හැකිද යන්නත්, මෙම දේශපාලනඥයින්ට තමන්ගේ රටවල ජනතාව නියෝජනය කළ හැකිද යන්නත් ගැන මම බරපතල ලෙස සැක කරනවා. මෙම දේශපාලනඥයින් මූලික වශයෙන් වසංගතය වැළැක්වීමට සහ පාලනය කිරීමට නොහැකි වූ අය බවට සියලු දෙනා දැක ඇති බව මම විශ්වාස කරනවා.

ඔවුන්ගේ පරිපාලනයට ඔවුන්ගේ ජනතාව වගකිව යුතුයි. ඇතැම් විට ඔවුන්ගේ කනස්සල්ල වෛරසය පරාජය කිරීම නොවෙයි. ඡන්ද දිනා ගැනීමයි. ඔවුන් පාඩම ඉගෙන ගෙන COVID-19 සමඟ සටන් කිරීමට අවධානය යොමු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා, එසේ නොවුනහොත්, ඔවුන්ගේ ජනතාවගේ පරීක්ෂණයෙන් බේරීමට අනාගතයේදී ඔවුන්ට නොහැකි වනු ඇති.

පළමු සැක සහිත සිද්ධිය වාර්තා වීමෙන් පසුව, චීනය ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් අතර පර්යේෂණ කටයුතු වලට සහාය වීම සඳහා වුහාන් ඇතුළු චීනයේ බොහෝ ස්ථානවලට පැමිණෙන ලෙස විශේෂඥ කණ්ඩායම් වලට (එක්සත් ජනපද වෘත්තිකයන් ද ඇතුළුව) ආරාධනා කළා. අපි සෑම විටම ජාත්‍යන්තර සහයෝගීතාවයට විවෘතව සිටියා. අප දැඩි ලෙස විරුද්ධ වන්නේ, කිසිදු සාක්ෂියක් නොමැතිව උපකල්පන මත පමණක් පදනම්ව චීනයට චෝදනා කිරීමටයි. ඔවුන්ගේ අරමුණු ඉටුකර ගත හැකි ඕනෑම ඊනියා “ජාත්‍යන්තර සහ ස්වාධීන” විමර්ශනයකින් ඔවුන්ට හිතකර “සාක්ෂි” සොයා ගැනීමකට උත්සාහ දරනවා.

6/ ඇතැම් රටවල් චීනයට දැන් චෝදනා කරන්නේ චීනයේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වැරදි තොරතුරු ප්‍රචාරය කරන බවයි. චීනයේ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වේ. මේ ගැන ඔබට කුමක් කිව හැකිද?

ඇතැම් විට වසංගතයේ ඇති විශාලතම “සාවද්‍ය තොරතුරු” වන්නේ චීනය විසින් නිල වශයෙන් සපයන ලද තොරතුරු කෙතරම් ප්‍රතික්ෂේප කළ නොහැකි වුණත්, එවන් තොරතුරු සෑම විටම පක්ෂග්‍රාහී දේශපාලනඥයන් සහ මාධ්‍ය විසින් “වැරදි තොරතුරු” ලෙස ලේබල් කරන බවයි. “ඒබීසී (Anything but China) යන මතය” හි මෙම දේශපාලනය, වෛරසය සමානවම මාරාන්තික ය. බටහිර රටවල ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් “බොරු කීම, වංචා කිරීම සහ සොරකම් කිරීම” දිගටම කරගෙන යන අතර කිසිදු සාක්ෂියක් නොමැතිව ඔවුන් චීනයට දොස් පවරනවා. එහෙත් ඔවුන්ගේම වෛද්‍ය හා විද්‍යාත්මක වෘත්තිකයන් එයට පැහැදිලිවම විරුද්ධ වුණත් තවමත් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරනවා. “වැරදි තොරතුරු පැතිරවීම” යන යෙදුම ඔවුන්ට වඩාත් ගැලපෙනවා.

7 / ඇතැම් රටවල් චීනය ‘නපුරන්’ ලෙස හුවා දක්වන්නේ ඇයි? මේ යුගයේ චීනය විසින් පවත්වා ගෙන යනු ලබන ශක්තිමත් ආර්ථිකය ඔවුන් හෙළා දකින නිසාද, යටිතල පහසුකම් ව්‍යාපෘති හා සංවර්ධනය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමෙන් චීනය වේගයෙන් ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින නිසා ද? චීනයේ ජයග්‍රහණය ගැන වෙනත් බලවත් රටවල් ඊර්ෂ්‍යා කරන බව ඔබ සිතනවාද?

සාධාරණ ඕනෑම කෙනෙක් ඔබ වගේ පළමු ප්‍රශ්නය කල්පනා කරමින් සිටිනවා. දෙවන ප්‍රශ්නය ඇසීමෙන් ඔබ ඔවුන්ට පිළිතුර ලබා දී ඇතැයි මා විශ්වාස කරනවා. ඔබගේ තුන්වන ප්‍රශ්නය සම්බන්ධයෙන්, මම කිසිදු අදහසක් නොදක්වන නමුත් ඔබට ඔවුන්ගෙන් සෘජුවම විමසිය හැකි යැයි යෝජනා කරන්න කැමතියි. මෝඩ පුද්ගලයන් විසින් ජියෝර්ඩානෝ බෲනෝව පුලුස්සා මරා දමා වසර 400 ක් ගතවී තිබුණත්, විද්‍යාත්මකව යුක්ති සහගත කර තිබුණත්, සහජයෙන්ම විරුද්ධ වන සහ තමන්ගේ මතයට වඩා වෙනස් මතයන් තුරන් කිරීමට කරුණු රාශියක් සමඟ උත්සාහ කරන ඇතැම් අය තවමත් ඉන්නවා. එවැනි පටු ආකල්පයක් ඇත්ත වශයෙන්ම සියලු මනුෂ්‍යයන්ටම දුකක්.

8 / මෙම නව කොරොනා වෛරසය පැතිරීමෙන් පසුව චීනය සිය වන සත්ව වෙළඳපොල සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවද?

මේ මොහොතේ, චීනයේ ව්‍යවස්ථාදායකය විසින් නීති විරෝධී දඩයම් කිරීම, වෙළඳාම් කිරීම සහ වන සතුන් ප්‍රවාහනය කිරීම තහනම් කර තිබෙනවා. නීති විරෝධී වන සත්ව වෙළඳ ස්ථාන ද කඩා වැටිලා. මේ අතර, චීනයේ වනජීවී පරිභෝජනය ඇතැම් විදේශිකයන් සිතනවාට වඩා බෙහෙවින් අඩු බව සැලකිල්ලට ගන්න ඕන. එවැනි රසයක් ඇති ඥාතියෙකු හෝ මිතුරෙකු හෝ මට නැහෑ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ බොහෝ චීන අවන්හල් තිබෙනවා, ඒ වගේම බොහෝ ශ්‍රී ලාංකිකයන් චීනයේ සංචාරය කරනවා එහෙම නැත්තනම් එහි ජීවත් වෙනවා. ඕනෑම අවන්හලකට හෝ දේශීය නැවුම් වෙළඳපොළකට යන්න, එවිට මෙම හැඟීම සත්‍ය නෙවෙයි කියලා ඔබට වැටහෙනු ඇති.

9 / ශ්‍රී ලංකාවේ, දැනට COVID-19 රෝගීන් 800 කට වඩා හඳුනාගෙන තිබෙනවා. ඔබේ මතය අනුව, ශ්‍රී ලංකාව වෛරසයට එරෙහිව සටන් කර‍න ආකාරය ගැන මොකද හිතන්නේ?

ශ්‍රී ලංකාවේ COVID-19 ව්‍යාප්ත වී යාමෙන් පසුව, ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මණින් තීරණාත්මක හා ස්ථිර ක්‍රියාමාර්ග කිහිපයක් ගත් අතර වෛද්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රටේ සියලු ජනතාව ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වමින් සහයෝගයෙන් කටයුතු කළා. ඒ අනුව සිදුකෙරුණු ධනාත්මක බලපෑම් ශ්‍රී ලංකාව විසින් වසංගතය පැතිරීම ඉතා හොඳින් පාලනය කර ‍තිබෙන අතර, වැළැක්වීම සහ පාලනය කිරීමේ කටයුතු සාමාන්‍යයෙන් ඵලදායී හා ආකර්ෂණීය යී කියා කියන්න පුළුවන්. එය ජාත්‍යන්තර ප්‍රජාවත් පුළුල් ලෙස පිළිගෙන තිබෙනවා. වෛරසය ඉතා වේගයෙන් බෝවන බව ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමැතියි, කිසිවෙකු හෝ එය සැහැල්ලුවෙන් ‍නොගන්නවා වගේම ආරක්ෂාවක් නොමැතිව වෛරසයට නිරාවරණය නොවිය යුතුයි. වසංගතයට එරෙහි සටනේදී අප ඉගෙන ගත්තේ මෙන්න මේ දේයි.

10 / පසුගිය සති කිහිපය තුළ චීනය ශ්‍රී ලංකා රජයට වෛද්‍ය ආධාර ලබා දීමෙන් වෛරසයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා වටිනා පරිත්‍යාගයන් සිදු කළා. ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන්ගේ සටනට උදව් කළ හැකි යැයි ඔබ කවර ලෙසින් සිතනවා ද?

චීනය සහ ශ්‍රී ලංකාව සුළඟ හා වර්ෂාව මගින් පරීක්‍ෂා ක‍ර ඇති සැබෑ මිතුරන්. අවශ්‍යතා සඳහා එකිනෙකාට උපකාර කර ගන්නවා. චීනයේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා දේශපාලන හා ආගමික නායකයින්, සමාජයේ සියලුම අංශ සහ ජනතාව විසින් ලබා දුන් සහයෝගය සහ සහාය අපට කිසිදා අමතක‍ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වසංගතය පැතිර යන විට, චීන සමාජයේ සෑම අංශයකටම දැනුනේ එව අපට සිදුවූ දෙයක් විදිහටයි. චීන රජය, ව්‍යවසායන් සහ පුද්ගලයින් ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය අවශ්‍යතා විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළ. එය ගෝලීය ඉල්ලුම ඉහළ යාම යටතේ සිදුවූ නිසා වැදගත්.

මෙම සටනේදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් චීනයේ වෛද්‍ය සැපයුම් කෙරෙහි විශ්වාසය තබන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් දැන ගැනීමට ලැබීම අපට ගෞරවයක් හා දිරිගැන්වීමක් කියලා කියන්න පුළුවන්. මේ ආකාරයේ උපකාර තවමත් අඛණ්ඩව පැමිණෙමින් තිබෙනවා. මෑතකදී, චීන මධ්‍යම රජය විසින් පීපීඊ කට්ටල 30,000 ක් සහ පරීක්ෂණ කට්ටල 30,000 ක් ඇතුළු තවත් වෛද්‍ය සැපයුම් රැසක් යොමු කළා. ශ්‍රී ලංකාවේ මීළඟ අදියරේ වැළැක්වීමේ සහ පාලන කටයුතු සඳහා එය බෙහෙවින් උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා.

11 / මේ වන විට COVID-19 හේතුවෙන් මුළු ලෝකය, චීනය සහ එහි ජනතාව අපකීර්තියට පත් කර තිබෙනවා වගේ. ඔබ මේ මොහොතේ ලෝකයට දීමට කැමති පණිවිඩය කුමක්ද?

ඇතැම් අගතියට පත් බටහිරයන් කිසි විටෙකත් මුළු ලෝකයම නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කළ නොහැකියි කියා මා විශ්වාස කරනවා. ඔවුන් කොතරම් කෑගැසුවත්, කාලය සෑම කෙනෙකුටම සත්‍යය පවසනවා. මහා විනාශකාරී ආයුධවලින් ඉරාකය සන්නද්ධ බව බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමේ නාට්‍යය තවමත් අපගේ මතකයන් තුළ ජීවමාන වෙනවා. වර්තමානයේදී, වසංගතය තවමත් ලොව පුරා, විශේෂයෙන් චීනය දැඩි ලෙස අපකීර්තියට පත් කරන රටවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

දේශපාලන විසින් වෛරසය හැසිරවීමට හා ව්‍යාප්ත කිරීමට මංමුලා සහගත නොවී, ඔවුන්ගේම ජනතාවට සහ ලොව පුරා සිටින ජනතාවට වගකීමෙන් යුතුව වැළැක්වීම සහ පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මම ඔවුන්ට තරයේ අවවාද කරන්න කැමතියි. මානව වර්ගයාගේ ඉරණම සමීපව සම්බන්ධ වී ඇති බව COVID-19 මගින් යළිත් සනාථ කරන අතර චීනය ලෝකයේ සෑම රටකම ජනතාව සමඟ එකමුතු වී වසංගතයට එරෙහිව සටන් කිරීමටත්, එක්ව කටයුතු කිරීමටත් කැමැත්තෙන් සිටිනවා. එක්සත් වීමෙන් අපිට නැගිටින්න පුළුවන්, බෙදී ‍යාමෙන් අප පරාජය වෙනවා.

t

o

p