ඇඳිරිනීතිය සහ කොරෝනා පාලනය සම්බන්ධව නිකුත්වෙන නිවේදන ව්‍යාකූලයි !

May 6, 2020


කොවිඩ් 19 ආසාදනය පාලනය කිරීම උදෙසා රජය විසින් විවිධාකාර පියවරයන් ගනිමින් තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක්  ගන්නේ රටේ විවිධ ප්‍රදේශ අශ්‍රිතව නිරතුරුව පනවන පොලිස් ඇඳිරිනීතියයි. මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත්කරන ලදැයි පැවසෙන නිවේදනයන්ද ජනමාධ්‍යයන් මගින් විටින් විට ප්‍රකාශයට පත්කරනවා.

නමුත්  ප්‍රකාශයට පත්කරනු ලබන මෙම නිවේදනවලින් මහජනතාව මහත් ව්‍යාකූලතාවයකට පත්කරන බවක් පෙනීයනවා.මේ සම්බන්ධව අලුතින්ම නිකුත් කළ 2020 මැයි 4 දින මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තියෙන්නේ මැයි මස 11 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල, ඇඳිරිනීතිය පවත්නා කාළයේදී පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට නියමිත දිනයේදී නිවසින් බැහැරව  යාමට හැකි බවයි. 

ඇඳිරිනීතිය ලිහිල් කරන අවස්ථාවලදී එම සීමා කිරීම අදාල නොවන බවත් එහි දක්වා තියෙනවා.ඒ අතරම එම නිවේදනයේ තව දුරටත් දන්වා තිබෙන්නේ කොළඹ,ගම්පහ,කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මක වන අතර මැයි මස 11 දින සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන නැවත ක්‍රියාත්මක වනබවත් එම සේවාවන් වලට අදාල සේවක සේවිකාවන්ට ඇඳිරිනීතිය බලනොපාන බවත් ඔවුන් සඳහා පොදු ප්‍රවාහන සේවාවන්ද ක්‍රියාත්මක වන බවයි.ඹ්ගැටලුව වන්නේ මෙම සේවාවන් වලට අයත්වන ආයතන මොනවාද යන්න නිවේදනය නොකිරීම නිසා පෞද්ගලික අංශයේ ආයතන මින් අපහසුවට පත්විමයි.

කඩසාප්පු  විශේෂයෙන් වෙළඳ සංකීර්ණ, රෙදිපිළි සහ නිමි ඇඳුම් අලෙවිසැල්,ආපනශාලා වලට  මෙම තත්වය අදාලවන්නේ කෙසේදැයි පැහැදිලි නැත. මක්නිසාද යත් එවන් ආයතන විවෘත කළාට, ඇඳිරිනීතිය පවතින බැවින් මහජනයාට එම සේවාවන් ලබාගැනීමට එම ආයතන කරා පැමිනීමට හැකියාවක් නොලැබෙන බැවිනි.ඇඳිරිනීතිය ලිහිල් කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඇඳිරිනීතිය සම්පූර්ණයෙන් ඉවත් කොට පවත්නා කාළයද නැතහොත් මෙතෙක් අඛන්ඩව පැවති ඇඳිරිනීතිය ලිහිල් කොට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ක්‍රියාත්මක වන මැයි 11 සිට අඛන්ඩවද යන්න පැහැදිලි නැත.

එසේ නම් මැයි 11වනදින සිට  මහජනතාවට නිදහසේ නිවසින් බැහැරවීමේ හැකියාව තියෙනවාද?එවිට ජාතික හැඳිනුම්පතේ අවසන් අංකය භාවිතාකර එයට නියමිත දිනයට පමනක් නිවසින් බැහැර යා හැකි බවට කරන ප්‍රකාශය මගින් කියවෙන්නේ නැවත ඇඳිරිනීතිය “තදින්” ක්‍රියාත්මක කළහොත් හෝ රාත්‍රී කාළයේ දිවයින පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළහොත් එම කාළය තුල එම රෙගුලාසිය ක්‍රියාත්මක වන බවද?ඇඳිරිනීතිය යනු මහජනතාවගේ සංචරණය වලක්වා නිවසට සීමාකිරීම බව ශබ්දකෝෂවල දක්වා තියෙනවා. ඉතින් රාජ්‍ය,පෞද්ගලික අංශ මෙන්ම  පොදු ප්‍රවාහන සේවාවන්ද පවත්වාගෙනයමින් ඇඳිරිනීතියත් පවත්වාගෙනයෑම ව්‍යාකූල තත්වයක් ඇතිකරනවා නේද?පෞද්ගලික අංශය යන්නට අපේ රටේ, බොහෝදෙනා නියැලී සිටින ස්වයංරැකියා කරන්නන් අදාල වනවාද? නැද්ද ?යන්නත් පැහැදිලි නැහැ.

මීට පෙර නිකුත්කළ එවන් නිවේදනයන්හි “අත්‍යවශ්‍ය සේවාවන්” වල නියුතු අයට ඇඳිරිනීතිය පවත්නා කාළය තුල නිවසින් බැහැරව යාහැකි බව නිවේදනය කළත් එම අත්‍යවශ්‍ය සේවාවන් කුමක්දැයි ප්‍රකාශයට පත්කළේ නැහැ.

සේවාවක් අත්‍යවශ්‍යද නැද්ද යන්න රජය විසින් තීරණය නොකොට එය තීරණය කිරීම මහජනතාවට හෝ පොලීසියට භාරකිරීම සියලුදෙනා අපහසුතාවයට පත්කිරීමක්පසුගිය අප්‍රේල් 18 දින නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණා ආයතන තුලට ඇතුලුවීමේදී මුඛ ආවරන පැළඳිය යුතු බවට.

නමුත් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බවට මේ දක්වා සෞඛ්‍ය අංශ විසින් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ. දැනට ඇත්තේ පොලිසිය විසින්  “ලේන්සුවෙන් හෝ මුඛය ආවරණය කරගෙන පැමිණෙන ලෙස කරන ලද ‘නියෝගය” පමනි.ස්වශන පද්ධතියට අදාල බෝවෙන රෝගයක් පැතිරයනවිට එහි ප්‍රජා ව්‍යාප්තිය සිදුවන අවධියට පැමිනියහොත් එවිට මහජනතාව මුඛ ආවරණ පැළඳිය යුතු බවට සෞඛ්‍ය බලධාරින් විසින්  තීරණය කොට ඒ සම්බන්ධව උපදෙස් ලබාදියයුතු වනවා.

ඒ අනුව. මුඛ ආවරණයේ ප්‍රමිතිය,එය පැළඳිය යුතු ආකාරය, පැළඳිය යුතු අවස්ථාවන් ,එකම මුඛ ආවරණය නැවත නැවත භාවිතාකිරීම සහ භාවිතයෙන් පසු ඒවා ඉවත් කළ යුතු අයුරු පිළිඹඳව මහජනතාව මනාලෙස දැනුවත් කිරීම සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ යුත්තක්. මිස පොලීසිය විසින් සිදුකළ යුත්තක් නොවන බව  කිවයුතු වනවා.

වෛද්‍ය, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS (PERADENIYA)LL.B (OUSL)

t

o

p