ලොව පුරා පැතිර යමින් පවතින කෝවිඞ් 19 කොරෝනා වසංගතය මුල් කොට අප රට තුළ අතිශය අපකීර්තියට පත්ව ඇති ප්‍රදේශය ජාඇල, සුදුවැල්ල බව රහසක් නොවේ. ගම්පහ දිස්ත්‍රික්කයට, ජාඇල පොලිස් වසමට සහ නගර සභා සීමාවට අයත් සුදුවැල්ල, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තුඩැල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමෙන් කොටසක් මිස අඩුම තරමින් ග්‍රාම නිලධාරී වසමක්වත් නොවුවද එම ගම් කොටස සම්බන්ධ අපකීර්තිය අද වන විට ‘ජාතික තලයට’ පා තබා ඇත.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද පසුගිය අප්‍රියෙල් 28 දා පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් අප රටේ සුදුවැල්ල සහ කෝවිඞ් 19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් එක්තරා අන්දමක ‘බරපතල ප්‍රකාශයක්’ සිදු කළේය. එනම් පසුගිය අප්‍රියෙල් 05 දා ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු දෙසිය හයවන රෝගියාගෙන් එම රෝග ව්‍යාප්තිය සඳහා අතිශය අයහපත් බලපෑමක් සිදු වූ බවය. ඔහු එය සමාන කරන ලද්දේ තමන්ට කෝවිඞ් 19 රෝගය ආසාදනය වී තිබියදී දේවස්ථානයක දේව මෙහෙයකට එක් වීමෙන් විශාල පිරිසක් අතරේ එය ව්‍යාප්ත කළ දකුණු කොරියාවේදී හමු වූ තිස්එක් වන රෝගී කාන්තාව නිසා ඇති වූ අන්තරායකාරී තත්වයටය.
මෙම කෝවිඞ් 19 රෝග වසංගත තත්වය සම්බන්ධයෙන් පොලිස් සහ නීතිමය සීමාව තුළ රැඳෙමින් ඉහත සඳහන් ජාඇල සුදුවැල්ලේ කෝවිඞ් 19 ආසාදිතයා වෙත චෝදනා එල්ල කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇති අයිතිය පිළිබඳව අප අමුතුවෙන් කතා කළ යුතු නොවේ. ඒ ඔහුගේ එම ප්‍රකාශය පොදු සමාජ යහපත ඉලක්ක කරගත් එකක් සේ හැඟී යන බැවිනි. විශේෂයෙන් ජාඇල සුදුවැල්ලෙන් හඳුනා ගැනුණු කෝවිඞ් 19 ආසාදිතයන් මුල්කොට අගනුවර ප්‍රදේශ කිහිපයකට සේම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සැලකිය යුතු පිරිසක් දක්වා ද රෝගය ව්‍යාප්ත වීමෙන් ඇති වූ බරපතල තත්වය නියෝජ්‍ය පොලිස් පතිවරයා ගේ එම චෝදනාවට හේතු පාදක වූ බව පෙනේ.
එහෙත් කෝවිඞ් 19 වසංගතය පැතිරීම සම්බන්ධයෙන් ජාඇල, සුදුවැල්ල මෙතරම් අපකීර්තිමත් තත්වයකට පත් වීමේ යටගියාව සෙවීම ඔහුට හෝ පොලිස් හෝ නීති ක්‍ෂේත්‍රයන්ට අදාල වන්නක් නොවේ. එනිසා ද සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු දෙසිය හයවන කොරෝනා රෝගියා කෙරෙහි යොමු වූ නියෝජ්‍ය පොලිස් පතිවරයා ගේ ‘ඇගිල්ල’ කෙරෙහි අප අවධානය යොමු කළ යුතු නැත.
ධරාවි යනු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයට අයත් මුම්බායි නගරය ආශ්‍රිතව පිහිටා ඇති දැවැන්ත නාගරික පැල්පත් සමූහයකි. ආසියාවේ දැවැන්තම නාගරික පැල්පත් කලාපය වන මෙහි අක්කර පන්සිය හතලිහක භූමි ප්‍රදේශය තුළ ජනගහනය ලක්ෂ හතකටත් වැඩි බවක් කියනු ලැබේ. මෙය සාමාන්‍ය මට්ටමින් ගණනය කළහොත් මෙහි පර්චස් දහයක බිම් කඩක් තුළ හැත්තෑවකටත් වැඩි පැල්පත් වාසීන් පිරිසක් අතිශය දුෂ්කර ජීවිත ගත කරති.
අද වන විට ලෝකය පුරාම සැරිසරන කෝවිඞ් 19 රකුසු උවදුර මේ වන විට ඉහත සඳහන් ධරාවි නාගරික පැල්පත් කලාපය තුළට පිවිස තිබේ. එහි පවත්නා ජනපීඩනය සහ අයහපත් සෞඛ්‍යාරක්ෂිත පසුබිම යටතේ මෙම වසංගතය ධරාවී තුළ පැතිර ගිය හොත් කුමකින් කුමක් වේදැයි සිතා ගැනීමටවත් අප හට නොහැකි වනු ඇත. එහෙත් ධරාවී ජන ජීවිතය සම්බන්ධයෙන් ඉන්දීය සමාජවිද්‍යා ක්‍ෂේත්‍රය තුළ සිදුව ඇති විමර්ශන සිය ගණනකි.
ඒ තුළින් එහි වැසියන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, ගතිගුණ, චර්යා රටාවන්, ආගමික විශ්වාස, ජීවනෝපායන්, සමාජ ආර්ථික පසුබිම, ගෘහ ජීවිත ආදී මෙකී නොකී සියලු කරුණු සම්බන්ධ විධිමත් විමර්ශන සිදුව තිබේ. ඒ අතර එම පවුල්වල අඹු සැමියන් අතරේ සිදුවන ලිංගික කටයුතුවල සිට ඔවුන් අතර පවත්නා අනාචාර සම්බන්ධතා පිළිබඳව ද සමාජවිද්‍යාඥයන් ගේ අවධානය යොමු ව තිබේ.
ඊට අමතරව රාජ්‍ය සහ වෙනත් බුද්ධි අංශ මගින් ද ධරාවි ජන ජීවිතය පිළිබඳ පුළුල් අධ්‍යයනයන් සිදුකොට ඇති අතර ඒ සියල්ල අවශ්‍ය පරිදි මෙම කෝවිඞ් 19 වසංගතය සමනය කිරීම සම්බන්ධයෙන් යොදා ගන්නා බව මේ වන විට ප්‍රකාශයට පත් ව තිබේ.
එහෙත් ඉන්දියාවේ මුම්බායි හි ධරාවී වැසියන් සම්බන්ධයෙන් එවන් සංතීක්ෂණ සමාජ අවධානයක් යොමුව පවතින පසුබිමක ජාඇල, සුදුවැල්ලේ ‘ශාපලත් වැසියන්’ අදටත් පොදු සමාජයට පෙනෙනුයේ ‘අහසින් වැටුණු’ මිනිසුන් ලෙසය. එය අප රටේ පවත්නා සමාජ විචක්ෂණ භාවය මැනගත හැකි කදිම නිර්නායකයකි. අප රටේ විශ්ව විද්‍යාලවල සමාජවිද්‍යාව යනුවෙන් විෂයයක් ඇතත් එය දේශන සහ පොත පතට පමණක් සීමාවූ ප්‍රායෝගිකත්වයෙන් බැහැර විෂයක් බවට පත්ව තිබේ.
පසුගිය අප්‍රියෙල් 05 දා ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් දෙසිය හයවන කෝවිඞ් 19 ආසාදිතයා වාර්තා වනුයේ ඔහු තම මිතුරන් සිව් දෙනෙකු ද සමඟ ඊට යාබද බෝපිටිය ප්‍රදේශයේ හොර පොල් කැඩීමකට ගොස් සිටි අතරේ ප්‍රදේශවාසීන් ගේ අතටම හසු වීමෙන් පසුවය. ඒ වන විට ද කෝවිඞ් 19 රෝග ලක්ෂණ පළ කරමින් සිටි ඔහු පමුණුගම පොලීසිය වෙත භාරකර සිටිනුයේ ඔහුගේ සගයන් ඔහු අතහැර පලාගොස් ඇති අතරේය. පසුව පමුණුගම පොලීසිය මගින් රාගම මහ රෝහල වෙත මාරුකර යවන ලද ඔහු ඊට පසුදින එනම් අප්‍රියෙල් 06 දින කෝවිඞ් 19 ආසාදිතයකු බව අනාවරණය වෙයි. ඔහු ඇතුළු සුදුවැල්ල ප්‍රදේශයේ බොහෝ දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව හෙළිවනුයේ ඉන්පසුව සිදු කරන ලද පරීක්ෂණ වලිනි.
මේ අතර ඉකුත් මාර්තු 26 දා දෙසිය හය වන කෝවිඞ් 19 ආසාදිතයාගේ බිරිඳ ජාඇල පොලීසියට පැමිණිල්ලක් කරමින් තම සැමියා තමන්ට දරුණු ලෙස වදහිංසා පමුණුවන බව පවසා සිටිනුයේ ඔවුන් ගේ යුගදිවියේ වත්මන් ඛේදජනක තත්වය පිළිබඳ වැදගත් සාක්ෂියක් සනිටුහන් කරමිනි. ඒ වන විට එම යුවල මාස හතක කුඩා දරුවකුගේ මාපියන් වීම ද විශේෂත්වයකි.
එමෙන්ම බරපතල සාපරාධී ක්‍රියා සිදුවීම කෙසේ වෙතත් ජාඇල පොලිස් ස්ථානය වෙත දිනපතා පැමිණෙන සුලු පැමිණිලි වලින් වැඩිම කොටස සුදුවැල්ල ලිපිනය සහිත ඒවා බව පොලිස් වාර්තා වලින් පැහැදිලිවම පෙනී යයි. නමුදු ඉන් ප්‍රකාශ වන ඔවුන්ගේ ගෘහමය, පවුල්මය අසංතෘප්තිය පිළිබඳව මේතාක් කිසිවකු ගේ හෝ නිසි අවධානය යොමු වී නැත.
කැලණි නදියෙන් උතුරට සහ මීගමු කලපුවෙන් දකුණට වන්නට ස්ථාන කිහිපයකින්ම ඉස්මතුව ඇති වැලිපර සහිත භූමි භාගය අනාදිමත් කාලයක සිදු වූ මුහුද ගොඩගැලීමක් මත සිදු වූවක් බව භූ විද්‍යාඥයෝ මත පළ කරති. මෙය විහාරමහා දේවිය සම්බන්ධ මුහුද ගොඩගැලීම ලෙස ද මතයක් පවතියි. වැලිකඩමුල්ල, වැලිසර, වැලිකුරුඳුවත්ත, වැලිගම්පිටිය යන ග්‍රාම නාම සේම මෙම සුදුවැල්ල නාමය ද එම සංසිද්ධිය හා බැඳී තිබේ.
එමෙන්ම මෙම සුදුවැල්ල ප්‍රදේශය අයත් තුඩැල්ල ග්‍රාම නාමය ද වැලිතුඩුව, තුඩු වැල්ල වශයෙන් හැඳින්වී පසුව තුඩැල්ල ලෙස විපරිනාමය වූවක් බව පෙනේ. ඒ අතර කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිල සංදේශයේ 172 වන කවියෙන් කඳාන රිලවුල්ලේ තිබූ සුදුවැලි මළුවක් සහිත බෞද්ධ විහාරයක් පිළිබඳව සඳහන් වන අතර එම ස්ථානය පසුකාලීන ඕලන්ද යුගයේ කුරුඳු වගාවක් සඳහා යොදා ගැනුණු වැලිකුරුඳුවත්ත ප්‍රදේශය බව සාධාරණ ලෙස අනුමාන කළ හැකිය.
එමෙන්ම මෙම සුදුවැල්ල ප්‍රදේශයේ දක්නට ලැබෙන සුදුවැලි පොකුණ නම් වන මිරිදිය ජලාශය අතීතයේ එහි විසූ රැජිනක දිය නෑ ස්ථානයක් බවට ජනප්‍රවාදයක් ඇත. පසුව ඒ ආශ්‍රිත සුවිසල් රුක් සෙවනක් යට ස්ථාපිත කොට තිබූ කුඩා මඩු මාතා දේව පිළිරුවක් මුල් කොට ඇරඹුණු මඩු මතා දේව වන්දනාව අද වන විට සුදුවැල්ල මුල් කොට ගත් රමණීය මඩු මාතා දෙව්මැදුරක් ඉදිවීම තෙක් ප්‍රවර්ධනය වී තිබේ.
1970 දශකය තෙක් කිසිදු මිනිස් වාසයක් නොමැතිව මන්නාරම් දිස්ත්‍රක්කයේ මඩු මාතා දේවස්ථානය ආශ්‍රිත පරිසරයට සමාන පරිසර පද්ධතියකින් යුතු ව තිබූ සුදුවැල්ල ප්‍රදේශයේ මුල්වරට ජනාවාස වීම ඇරඹෙන ලද්දේ එම දශකයේ අග භාගයේය.
අගනුවර හා තදාසන්න නාගරික පැල්පත් වලින් පිටාර ගලන ජන පීඩනය රඳවා තැබිය හැකි පරිසරයක් සේ මෙම ඉසව් හඳුනා ගත් එවක මෙම ප්‍රදේශයේ දේශපාලනඥයෝ තමන්ට අතිශයින් හිතවත් සහ කීකරු දියුණු සමාජ ආර්ථික මට්ටමක නොසිටි නාගරික පැල්පත්වාසී පවුල් කිහිපයක් සුදුවැල්ලේ පදිංචි කරන ලදුව අද වන විට එම පවුල් ප්‍රමාණය තුන්සියයක් වශයෙන් හා ජනගහනය දෙදහසක් වශයෙන් වර්ධනය වී තිබේ.
නමුදු පානීය ජලය මුල් කොට ගත් පදිංචියට අවශ්‍ය කිසිදු යටිතල පහසුකමක් නොමැතිව පදිංචියට පැමිණි ස්ථිර ආදායම් මාර්ග අහිමි එම මුල් පදිංචිකරුවන් ගෙන් බොහොමයක් දෙනකු ‘මොනවා හරි කොට දවසේ වියදමට කීයක් හරි සොයා’ ජීවත් වීමේ රටාවට පිවිසෙන ලද්දේ එවක අවට පැවැති සමාජ ආර්ථිකය විසින් ඔවුන් බලවත් සේ කොන් කරන ලද තත්වයක් යටතේ ය. අඩුම තරමින් ජාඇල ප්‍රදේශයේ මධ්‍යම පාන්තික දරුවන් ඉගෙනුම ලබන පාසලකට පිවිසීමටවත් සුදුවැල්ලේ දරුවන්ට ඉඩක් හිමි නොවන ලද්දේ ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික හෝ සංස්කෘතික පසුබිමක් ඔවුන් තුළ නොතිබුණු නිසා බව පෙනේ.
මෙම තත්වය යටතේ මෙහි දරුවන්ට නිකමට හෝ ගොඩවැදිය හැකි පාසලකට තිබුණේ වත්තල අධ්‍යාපන කලාපයට අයත් දෑලතුර කනිටු ද්විතීයික විදුහල පමණි. කලක් එහි විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ මර්වින් පෙරේරා මහතා පවසා සිටි අන්දමට එවක සුදුවැල්ලේ නිවෙස් වල ඇති කළ රීරියන් පැටවුන් ලැබුණු පසු උන් කබරයන් ගෙන් රැක ගැනීම සඳහා පවා සති ගණන් මාස ගණන් පාසල් නෑවිත් නිවෙස්වලට වී සිටීමට තරම් එම ප්‍රදේශයේ දරුවන් අන්ත අසරණ තත්වයට පත් ව තිබේ. එමෙන්ම විවිධ පාර්ශවයන් ගේ අනුග්‍රහය ලබාගෙන එම අසරණ දරුවන් ගේ අධ්‍යාපන මට්ටම ඉහළට නංවා ඔවුන්ට යහපත් සමාජ ආර්ථිකයක් උදාකර දීමට තමන් එකල දැරූ සියලු උත්සාහයන් ව්‍යවර්ථ වූ බව ද පෙරේරා මහතා අප හා කීයේ අතිශය දුක්මුසු ලෙසිනි.
මෙවන් තත්වයක් යටතේ එදා මෙදා තුර කුමකින් හෝ කීයක් හරි සොයා ගෙන තමන්ගේත් දරුපවුලේත් කුස ගිනි නිවීමට වෙහෙසෙන මෙම සුදුවැල්ලේ වැසියන් ගෙන් අතලොස්සක් පමණක් තරමක් යහපත් සමාජ, ආර්ථික තත්වයකට පා නඟා ඇති අතර සෙසු සියල්ලෝ අදටත් එම අන්ත අසරණ දුක්ඛිත බවේ අඳුරු අගාධය තුළම ගිලී සිටිති.
ඔවුන් නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය අලෙවිය ඇතුළු නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට යොමුව හිඳිනුයේත් සතුටින් හා සාමකාමී ලෙස තම පවුල් ජීවිත ගත කිරීමට ඔවුන්ට නොහැක්කේත් වත්මන් නොවිධිමත් සමාජ, ආර්ථික දේශපාලන ක්‍රමය මගින් හිමිකර ගත් කඩතොළු මානසිකත්වය නිසා බව අතිශයින් පැහැදිලිය.
මෙවන් පසුබිමක් යටතේ මෙම ‘අහසින් වැටුණු මිනිස්සු’ පිළිබඳ පෙර විමසුමක් සිදුනොකළ අප රටේ බුද්ධි අංශ ඇතුළු වගකිව යුත්තන් කෝවිඞ් 19 වසංගතය මුල්කොට මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් නීති විරෝධී ක්‍රියාවලින් යුතු සුදුවැල්ල වාසීන්ගේ වත්මන් ජීවන රටාව පිළිබඳව කිනම් හෝ විමර්ශනයක්, අධ්‍යයනයක් සිදුකොට තිබීම ගැන අපගේ පැසසුම හිමි විය යුතුය.
එහෙත් ඒ සමඟම ඔවුන් භාවිතා කරනු ලබන සහ සිල්ලරට අලෙවි කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ඔවුන් අතට පත් වන්නේ කෙසේද? ඒවායේ මහා පරිමාන තොග ජාවාරම් කරුවන් කවුරුන් ද යන්නත් ඒ සමඟම ජනතාව හමුවේ හෙළිදරව් කිරීම අදාල පාර්ශවයන්ගේ අනිවාර්ය යුතුකමක් හා වගකීමකි.
එසේ නොමැතිව සුදුවැල්ල නම් ශාපලත් දේශයේ හිඳිනා ‘පව්කාරයන්ට’ ගල්ගසා මරා දැමීමෙන් පමණක් මෙම ඛේදවාචකය නිමා නොවනුයේ එවැනි පව්කාරයන් සිය දහස් ගණන් බිහිවන අතිශය පාපී සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයම තවදුරටත් අප රටේ ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින බැවිනි.
තිලක් සේනාසිංහ