අගමැතිවරයා කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි

May 4, 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම  වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

අගමැතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225දෙනාට අමතරව ඊට පෙර විශ්‍රාමික සියලු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අරාධනා කර තිබෙන බව කී මහලේකම් වරයා මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්වීය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය යැයිද සඳහන් කළේය.

අර්ථවත් සංවාදයක් පවත්වනවා වෙනුවට රාජපක්ෂ තන්ත්‍රය අවධානය යොමු කර ඇත්තේ නායකත්වයට ජාතික සමගිය අවශ්‍ය මොහොතක පක්‍ෂ දේශපාලනය කිරීම බවද පක්‍ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නිළ වශයෙන් යලි රැස්වීමට විකල්පයක් ලෙස අදාළ රැස්වීම පිළිගත්තේ නැතත් කොවිඩ් 19 අර්බුදය හමුවේ දේශපාලනය පසෙකට දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නිළ ස්ථාවරය බැවින් යළිත් වරක් ඒ බව ප්‍රකාශ කිරීම සඳහා එම රැස්වීමට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුනද ඉහත හේතු මත එම තීරණය වෙනස් කරගත් බවද පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

කෙසේ වෙතත් කොවිඩ් 19 උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා  උත්සාහයන්ට සහාය වීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් යැයිද කෙසේ නමුත් එය ඵලදායි ලෙස සිදු කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියා මාර්ග රටේ ව්‍යවස්ථාවට අනුකුල වන බවට රජය සහතික වියයුතුයැයිද පක්‍ෂ මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

(අංජුල මහික වීරරත්න)

t

o

p