අප සිටින්නේ ගිලෙමින් පවතින ටයිටැනික් නෞකාවකද …?

April 22, 2020

*කොරෝනාවෙන් අපිට ගැලවීමක්නැද්ද ..?*රෝග නිවාරණය වීම සඳහා ප්‍රජා ප්‍රතිශක්තිය (Herd Immunity) ඇති විය යුතුයි.

 මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා පනවා තිබූ ඇඳිරිනීතිය සීමාසහිතව මීට දින දෙකකට පෙර සිට ඉවත් කොට තිබෙනවා නමුත් ඒ අතරතුර නිරෝධායන මධ්‍යස්ථානවල නොසිටි අලුත් ආසාධිතයන් 48 දෙනෙකු එම දින දෙක තුළ දී  සොයා ගත් බවත් කියවෙනවා .ඒ අතර තුර ඇඳිරි නීතිය ඉවත්  කිරීමත් සමග ඉතාමත් දිගු පෝලිම් දක්නට ලැබුණේ සුරාසල් අසලයි.

ඒ වගේම රෝගය දරුණුවට තිබූ අවස්ථාවේ දී සමහර රටවල මිනිසුන්ගේ බිය නැති කිරීම සඳහා යොදා ගත්  සංගීත සංදර්ශන වැනි දේවල් රෝගීන් හත් දෙනෙකු පමණක් මිය ගොස් තිබියදී  ලංකාවේ ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණා .රෝගය පිළිබඳව සහ ඉදිරියේ දී විය හැකි දේ පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගෙන,  සුරාව ,සංගීතය, විනෝදය  දෙසට ජනතාව යොමු වීම අපගේ මතකයට නංවන්නේ ටයිටැනික් චිත්‍රපටයේ ,නැව ගිලෙමින් තිබෙන බව දැන දැනත් එහි මගීන් ට ඒ බව නොදැනෙන ලෙස සංගීතය සුරාව සහ විනෝදය සැපයූ ආකාරයයි.එම මගීන්  සිතා සිටියේ නැවේ බඳේ ඇති වූ සුළු සිදුර වසා දමා නැව සුරක්ෂිත කොට ඇති බවයි.නමුත් සත්‍යය එය නොවන බව පසක්කොට ගන්නා විට ඔවුන්ට කළ හැකි කිසි දෙයක් නොවීය .


අපි බොහෝදෙනා සිතාගෙන සිටින්නේ ශ්‍රීලංකාවේ වර්තමානයේ සිටින රෝගීන් සහ ආසාදිතයන් සොයාගෙන ඔවුන් සියල්ල ප්‍රතිකාර සහ නිරෝධායනය කළපසුව අපේ රටින් කොරෝනාව තුරන්ව යනු ඇති බවයි.නමුත් සත්‍ය තත්වය එය නොවේ.එලෙස අන්තිම ත්‍රස්තවාදියාත් විනාශකළ පසුව ත්‍රස්තවාදය නිමාකළ බව ප්‍රකාශකිරීමට ත්‍රිවිධ හමුදාවට හැකිවුවත් වෛරස සමග කරන සටන එසේ නිමකළ නොහැකියි.


1918 සිට 1920 දක්වා ලොව පුරා පැතිරුන පරංගි උණ (Spanish Flu) නමින් හැඳින්වූ මෙවන් වසංගතයක් හේතුවෙන් ලෝකයේ එවක ජනගහනයෙන්  හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් හෙවත් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් රෝගී වූ අතර මිලියන 50කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.අමෙරිකාවේ පමණක් මිනිසුන් 675000ක් මියගොස් ඇති අතර  ශ්‍රීලංකාවේ එවක ජනගහනයෙන් 1.1% එනම් 91600 ක් මියගොස් තිබෙනවා. මේ රෝගයත් ස්වසන පද්ධතිය ආක්‍රමණය කල  ඉන්ෆ්ලුවෙන්සා   වෛරස රෝගයක් වූ අතර එයටද නිශ්චිත ප්‍රතිකාරයක් තිබී නොමැත එසේ නම් එම වසංගතය නිවාරණය වූවේ කෙසේද? 


මෙහිදී සිදුවූයේ ප්‍රජාවක ජනගහණයෙන් 60% එම රෝග කාරකය මගින් ආසාදනයට පත් වූ විට තවදුරටත් එම ප්‍රජාව තුළ  එම රෝගය පැතිරී නොයා මර්දනයට  සමත් වන “ප්‍රජා ප්‍රතිශක්තිය ” ( Herd Immunity  ) බිහිවීමයි. එයවිද්‍යාත්මකව තහවුරු කරන ලද කරුණක්. එවිට එම රෝගකාරකයට සමාජය තුළ පැතිර යෑමට අවශ්‍ය තරම්  ධාරකයන් හෙවත් රෝගය නොවැලඳුනු  පුද්ගලයන්  සොයා ගැනීමට නොහැකි වනවා.සමාජයේ 60% පුද්ගලයන් තුළ රෝග කාරකය ට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය වී එයට එරෙහිව සිරුර තුළ  ප්‍රතිදේහ නිපදවී ඇති විට  තමා මෙම සංසිද්ධිය ඇති වන්නේ .

මෙම රෝගය තුරන් වීමට නම් එසේ  වෛරසය සිරුර තුළට ඇතුළු වී එයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වීම හෝ දුර්වල කරන ලද වෛරස මගින් එන්නතක් නිපදවා එය මිනිස් සිරුරට ඇතුළු කොට සිරුරේ ප්‍රතිදේහ වර්ධනය කිරීම  සිදු කළ යුතු වනවා නමුත් එන්නතත් නිපදවීම සඳහා වසර කිහිපයක කාලයක් ගත වෙනවා.මෙන්න මෙම සත්‍ය සහ විද්‍යාත්මක කරුණ මත තමා අමෙරිකාව සිය කොරෝනා මර්දන ක්‍රමවේදය ගෙන යන්නේ.තව නොබෝ දිනකින් ඔවුන්ගේ සමාජය තුළ මෙම රෝගයට එරෙහි ව “ප්‍රජා ප්‍රතිශක්තිකරණය”(Herd Immunity )  ඇති වේවි එවිට ඔවුන් තව දුරටත් මෙම රෝගය පැතිර නොයන සමාජයක් බවට පත් වේවි ජන ජීවිතය, රටේ  ආර්ථිකය සාමාන්‍ය බවට පත් වේවි..නමුත් ඒ සඳහා ඔවුන් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් වැය කරාවි .


.එම ක්‍රමය   ඒ අයගේ ක්‍රමයයි .ඔවුන් මිනිස් ජීවිත වලට වඩා භෞතික දේවල් එනම් රට සහ ආර්ථිකය වැනි දේවල්  ප්‍රමුඛ කොට  සැලකිල්ලට ගනු ලබන බවයි පෙනෙන්නේ. නමුත් එම රට කොරෝනා රෝගය පරාජය කරනු ලබන ලොව ප්‍රථම රටවල් ගොන්නට අයත් වනු ඇත 
නමුත් වෙනත් බොහෝ රටවල් අමෙරිකාවේ  ක්‍රමය අනුගමනය කරන්නේ නැහැ විශේෂයෙන් ම බෞද්ධ දහමින්  පෝෂිත වූ අපේ රට මිනිස් ජීවිත පළමු කොටයි සලකන්නේ .එම නිසා අපි හැකි හැම උත්සාහයක්ම දරා  සමාජයේ පුද්ගලයන් ආසාදිතයන් බවට පත්වීම වළක්වා රෝගය සීග්‍රයෙන් පැතිර යෑම මැඩ පවත්වා තිබෙනවා.


නමුත් සත්‍ය වශයෙන් ම රෝගය වැළඳීමේ අවදානම නැති කිරීමට නම්   මම මුලින් සඳහන් කළ පරිදි මෙම රෝග කාරක වෛරසය අප ශරීරය තුළට ඇතුළු වී ඒ සඳහා සිරුර මගින් එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවිය යුතුයි . එසේ නො වේ නම් අනාගතයේ නිපදවන සාර්ථක එන්නතක් මගින් මෙම රෝගයට එරෙහිව සිරුර තුළ  ප්‍රතිදේහ නිපදවා  ප්‍රතිශක්තිය වර්ධනය කළ යුතු වෙනවා


දැනට අපේ රටේ මෙම රෝගය වැළදී ඇත්තේ 304:ක් වැනි පිරිසකට ඒ අය ගෙන්  97 දෙනෙක් සුවය ලබා තිබෙනවා . ඒ අනුව කෝටි දෙක හමාරකට ආසන්න ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මෙම රෝගය සඳහා ප්‍රතිශක්තිය වර්ධනය වී ඇත්තේ එම පුද්ගලයන්ට පමණි.අනෙක් සියළුම දෙනා  මේ  රෝගයට ගොදුරු වීමේ අවදානම සහිත අය යි .මේ නිසා තමා විදෙස් දර්ශක වල අපේ රට ලෝකෙයේ කොරෝනා රෝගයෙන් ආරක්ෂිත රටවල් ගණයට ඇතුළත්කොට නැත්තේ.ඇත්තෙන්ම අප සිදු සිදුකොට ඇත්තේ රෝගය අපේ රටේ පුද්ගලයන් ට වැළඳීම කල් දමා ගැනීමකි .

නමුත්   දිගටම අපේ රට විවෘත නො කොට තබා ගැනීම කළ නොහැක්කක් .විදෙස් රටවලින් එන  සංචාරකයන් ඇතුළු සියලු පුද්ගලයන් PCR පරීක්ෂණයට යොමු කිරීම කළ නොහැක.රෝගය ලොවින් තුරන් වීමට අවුරුදු කිහිපයක් ගත වනු ඇත .මේ සියලු කාලය අපට වෙනත් රටවලින් ස්වායත්තව ජීවත්විය නොහැක.එබැවින් සිදු කළ යුත්තේ ඉදිරියේ ඇති විය හැකි මහා පරිමාණයේ වසංගතයකට මුහුණ දීම සඳහා සූදානම් ව සිටීමයි.ඇත්තෙන් ම අප දැන් සිටින්නේ ගිලෙන බව නොදැන ටයිටැනික් නැව තුළ සිටින පිරිස විලසයි.අප සියලු දෙනාගේ සිරුර තුළ මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වන තුරු අපට නිසි ආරක්ෂාවක් නොමැති බව සියලු දෙනාම වටහාගත යුතු වෙනවා .

එම නිසා මේ අවස්ථාවේදී ඔබගේ ජීවන රටාව වෙනස් කොට ඉදිරියේදී පැමිණිය හැකි රෝග වසංගතයට  මුහුණ දීමට අවශ්‍ය සියලු පියවර ගත යුතු වෙනවා .සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරතුරුව විෂබීජ නාශක යොදා දෑත් පිරිසුදු කර ගැනීම වැනි ක්‍රමවේදයන් දිගට ම පවත්වාගෙන යායුතු වෙනවා .ඉදිරියේ දී සමහර විට දිගු කාලයක් රට ම ලොච්ක්ඩොව්න් කර තැබීමට සිදුවේවි.ඒ නිසා එයට මුහුණ දීමට වහාම සැලසුම් සැකසිය යුතු වනවා .අත්‍යවශ්‍ය ආහාර සියලුම දෙනා වෙත ලබා දිය හැකි ක්‍රමයක් ග්‍රාම නිලධාරි මට්ටමින් සැකසීමත් .

ගොවි නිෂ්පාදන මිල දී ගැනීම සහ ගොවීන්ට අවශ්‍ය කෘෂි රසායන ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු වනවා .සෑම පුද්ගලයෙක් ම තමන්ට හැකි අයුරින් ආහාරයට ගත හැකියි එළවළු පළතුරු වගා කළ යුතු වෙනවා .දේශීය කර්මාන්ත නැවත ස්ථාපනය කොට රටට අවශ්‍ය දේ අප රටේම නිපදවීමට කටයුතු කළ යුතු වෙනවා.දරුවන්ගේ අධ්‍යාපනය දුරස්ථ ක්‍රමවේද ඔස්සේ ලබා දීමටත් .

සායන වලින් බෙහෙත් ගන්න රෝගීන්ට එම පහසුකම් ග්‍රාමීය මට්ටමෙන් සැපයීමේ ක්‍රමවේද ඉතා ඉක්මනින්ම සැකසිය යුතු වනවාවිශේෂයෙන් ම විද්යුත් ජන මාධ්‍ය මෙහිදී වගකීමකින් කටයුතු කළ යුතු වෙනවා .මෙම ජාතික ව්‍යසන  අවස්ථාව සිය මාධ්‍ය ආයතනයේ  ප්‍රචාරක කටයුතු සඳහා උපයෝගී කර ගැනීම පිලිකුලට කරුණක්.නිරතුරුවම රජය මගින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම අත්‍යවශ්‍ය වන්නේ එය රෝග මර්දනය කිරීම සඳහා වන ජාතික වැඩ පිළිවෙළක් වන නිසයි .එයට පටහැනිව වෙනත් වෙනත් අවිද්‍යාත්මක සහ අවිචාරශීලී දේවල් කළ හොත් එම වැඩසටහන සාර්ථක නොවනු ඇත.රෝගයට බිය වීම අවශ්‍ය නැත අවශ්‍ය වන්නේ රෝගය ආසාදනය නොකර ගැනීමට තරම් ප්‍රවේශම් සහගත වීමයි.

මක්නිසාද යත් විශාල ප්‍රමාණයක් එකවර ආසාදනය වුවහොත් එයින් එක වර රෝගී වන විශාල පිරිසකට ප්‍රතිකාර ලබා දීමට අප රටේ රෝහල් පද්ධතිය අසමත් වනු ඇත එවිට එකවර විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වීමේ හැකියාව තියනවා. .රෝග වසංගතයෙන් ලද ඉසිඹුවෙන් අප රට කොරෝනාව පරාජය කොට ඇති බවට  උදම් ඇනීමට නොගොස් සත්‍ය තේරුම් ගෙන ජාතික  වගකීමකින් යුක්තව කටයුතු කිරීම ජනමාධ්‍යන් ඇතුළු සියලුම දෙනාගේ වගකීම වන බව අවධාරණය කරනවා.


වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA )LL.B (OUSL)CER .PSYCHOLOGY AND COUNSELING ජාතික රෝහල මහනුවර


තිලක් සේනාසිංහ

t

o

p