ජනජීවිතය සාමාන්‍යකරණය කිරීමට කොවිඞ්-19 අර්බුදය හමුවේ ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙළ හා එහි පවතින ගැටළු පිළිබඳව කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් මුලුමහත් ලෝකය පුරාම රාජ්‍යයන් හා එහි වෙසෙන ජනතාවන් විශාල සෞඛ්‍යමය, ආර්ථිකමය හා සමාජමය අර්බුදයකට මුහුණ දී ඇත. විවිධ රාජ්‍යයන්ට වසංගතයේ බලපෑම ඔවුන් අනුගමනය කළ නිරෝධායන ක්‍රියාමාර්ග, එම රටවල ඇති සෞඛ්‍ය අංශවල ධාරිතාව, ජනතාවගේ ජානමය සුවිශේෂීත්වය, දේශගුණික හා පාරිසරික සාධක ආදී කරුණු මත රඳාපවතින බව පෙනේ.
ඉහත සාධක මත වසංගතය ව්‍යාප්තවීමේ ස්වභාවය අනුව, දැඩි සත්කාර පහසුකම් අවශ්‍යවීම හා රෝගීන් මරණයට පත්වීම අදී සංඛ්‍යා-දත්ත හැසිරුණු බව විශේෂඥයන්ගේ මතයයි. කෙසේ වුවත් කොරෝනා වසංගතයත් සමග මතුව ඇති ආර්ථික අර්බුදයේ බලපෑම, විවිධ රාජ්‍යයන් මත සිදුවන්නේ ඉහත වසංගතය ඒ එක් එක් රටවලට බලපෑ ප්‍රමාණය මතම නොවන බව පැහැදිලි කරුණකි. වර්ධනය වෙමින් ඇති මෙම ආර්ථික අර්බුදයට අනුව එක් එක් රාජ්‍යයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග හා එයට අනුරූපීව වසංගතය පාලනය කරගැනීම සඳහා ලැබෙන සෞඛ්‍ය අංශ නිර්දේශයන්ද ගැටෙන තත්වයක් ලෝකය පුරාම දැක ගත හැක.
ආර්ථික හා දේශපාලන හේතූන් මුල් කොටගෙන පසුගිය දා සමාජ දුරස්තකරණය සඳහා ගත් ක්‍රියාමාර්ග ඇතුළු වසංගතයට මුහුණ දීමට අදාළව ගත් විවිධ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග තුළින් කඩිනමින් ඉවත් වීමට විවිධ රාජ්‍යයන් උත්සාහ කරන විට ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් කියා සිටියේ එවැන්නක් කිරීමට කලබල නොවන ලෙසයි. එමගින් විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඔවුන් විසින් අනතුරු අඟවා ඇත. එමෙන්ම වසංගත මගින් ඇති කරන සමාජ-ආර්ථික-සෞඛ්‍යමය අර්බුද සුපුරුදු ලෙස තම දේශපාලන අවශ්‍යතා කළමනාකරණය කරගැනීමේ ජනතා විරෝධී උවමනාවන් වෙනුවෙන් යොදාගැනීමේ දේශපාලන ප්‍රවේශයන්ද ලෝකයේ විවිධ රාජ්‍යයන් තුළින් දැකිය හැක.
මෙවැනි පසුබිමක සිටිමින් ලංකාවේ වත්මන් ආණ්ඩුව ගනු ලබමින් සිටින ක්‍රියාමාර්ගයන්හි දිශාව කුමක්ද, එහි ගැටළු කවරේද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කිරීමත් එමෙන්ම දැනටමත් ගනිමින් සිටින ක්‍රියාමාර්ග හා එවායේ පවතින ගැටළු කෙරෙහිද මෙම ලිපිය හරහා ඔබගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
ලංකාවේ වසංගතය ව්‍යාප්ත වීම වැළක්වීමේ ක්‍රියාවලියේදී වැඩි අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ විශේෂඥයන් ඉදිරිපත් කරන නිර්දේශ වෙතය. එමෙන්ම පවත්නා ඇඳිරි නීතිය සහ විවිධ සීමා කිරීම් නිසා අඩපණව ඇති ජන ජීවිතය යලි පණ ගැන්වීම සම්බන්ධයෙන් එම නිර්දේශවලට යටත්ව වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. නමුත් රජයේ මෑත කාලීන වැඩපිළිවෙළ ඉදිරිපත්ව ඇත්තේ එවැනි සුපරීක්ෂාකාරීත්වයකින්ද, නැතිද යන ප්‍රශ්නය නිරායාසයෙන් මතුවේ. මේ වන විටත්, පාසල් විවෘත කරන්නේ මැයි මස 11දා බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
සරසවි විවෘත කිරීමේ ආරම්භක දිනය මැයි 04 දා ලෙසත් එහි අවසන් අදියර මැයි 18 දා ලෙසත් ප්‍රකාශයට පත්කර ඇත. අප්‍රේල් 20වන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස ඇතැම් රජයේ සේවකයන්ට දැනුම් දී ඇත. එමෙන්ම මැතිවරණයක් පැවැත්වීමට පවා බාධාවක් නැති තත්වයක් ඇති බව ඇතැම් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මාධ්‍ය වලට ප්‍රකාශ කරමින් සිටී. එමෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය හා සමහර සෞඛ්‍ය බලධාරීන් විසින් දින කිහිපයක සිට මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් සිටින්නේ වසංගතය සම්පූර්ණයෙන් පාලනයකර ඇති බවකි.
මෙවැනි නිරීක්ෂණ ගණනාවක් එකාබද්ධ කළ විට රජය ජනතාවට විවෘතව ප්‍රකාශ නොකරමින් වසංගත තත්වයට අදාළව ගත් සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමේ උපාමාරුවක සිටින බව පෙනේ. කිසිදු රටකට අඛණ්ඩව සමාජ හුදකලාකරණය පවත්වා ගත නොහැකි අතර එලෙස පවත්වා ගත යුතුද නැත. එහෙත්, ගැටළුව වන්නේ සමාජ හුදකලාකරණයට ගත් ක්‍රියාමාර්ගවලින් රජය ඉවත් වන්නේ කවර සෞඛ්‍ය විද්‍යාත්මක තක්සේරුවක් මතද යන්නයි. ඒ සඳහා වන විධිමත් තක්සේරුවක් ලැබී නොමැති නම් මෙවැනි හදිසි පියවරයන් ගනිමින් සමාජ දුරස්තකරණ ක්‍රියාවලියෙන් ඉවත් වීමට උත්සාහ ගන්නේ කුමන අවශ්‍යතාවක් මතද යන්නයි.
අප ඉදිරිපිට ඇති පැහැදිලි දත්ත හා කරුණුවල පදනම මත සළකා බැලුවහොත් තවමත් කොරෝනා රෝගීන් වාර්තාවීම අවසන්ව නැත. එමෙන්ම දැනට කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන ඡක්‍ඍ පරීක්ෂණ ගණන ලංකාවේ ජනගහනයට සාපේක්ෂව සහ වාර්තාවන සැක සහිත රෝග ලක්ෂණ සහිත අයගේ සංඛ්‍යාවට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන, අඩු අගයක් වීම විසින් රෝගීන් වාර්තාවීම අඩු වී ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. අවම වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින පිරිස් හා අවදානම් සහිත ලෙස නම් කළ ප්‍රදේශන්හි සිටින පිරිස් පරීක්ෂා කිරීම දක්වාවත් පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් වුයේ නැත.
අද වන විටත් මුලු කාලය මුළුල්ලේම සිදු කොට ඇති සම්පූර්ණ පරීක්ෂණ ප්‍රමාණය 5000 නොඉක්මවයි. අනෙක් සැලකිය යුතු කරුණ වන්නේ මීට පෙර රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශවලින්ද නව රෝගීන් වාර්තා වීමයි. මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් විට කෝවීඞ් 19 වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ අවසන් නිගමනවලට එළඹීමට තවත් සැළකිය යුතු කාලයක් අවශ්‍ය බව පෙනී යයි. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු පෙළගැසෙන ආකාරයට මැයි 29ට පෙර මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මත මෙම වසංගතයට එරෙහිව ගෙන ගිය ක්‍රියාවලියේ රිද්මය වෙනස් කිරීමට කටයුතු කරන බව පෙනේ. පාර්ලිමේන්තුව විසිරුවීම හා නාමයෝජනා කැඳවීම සිදුවූයේ ද මෙවැනිම ආකාරයකට බව මෙහිදි සිහිපත් කළ යුතුය.
සෙෘඛ්‍ය අංශ හා විවිධ සංවිධාන මගින් පෙබරවාරි මස අවසාන සතියේ සිට අනතුරු ඇඟවූවද, විදෙස් රටවල් කොරෝනා වසංගතයට අදාළ ක්‍රියාමාර්ග වේගයෙන් ගනිමින් සිටි තත්ත්වයක් තුළද ආණ්ඩුව එය සැලකිල්ලට නොගත් බවත් විශේෂයෙන්ම විදේශ සංචාරකයන්ට කොරෝනා රහිත රටක් ලෙස හුවා දක්වමින් ප්‍රචාරක දැන්වීම් රැගෙන ගිය බවත්, පළමු රෝගියා වාර්තා වී තිබියදීත් ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වන විටත් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කරන ලද තත්ත්වයක් තුළ පවා නාම යෝජනා භාරගැනීමේ උවමනාව වෙනුවෙන්ම මාර්තු 17 -19 දක්වා රාජ්‍ය ආයතන සක්‍රීය කළ බවත් සිහිපත් කළ යුතුමය.
එහිදී අප පක්ෂයේ ස්ථාවරය වූයේ මැතිවරණය කල් දැමිය යුතු බවයි. කෙසේ හෝ මැතිවරණය පවත්වා සිය බලය තහවුරුකර ගැනීමේ උවමනාවත් එ.ජා.ප. දෙකඩවීමේ වාසිය ලබාගැනීමේ උවමනාවත් නිසා ආණ්ඩුව නාම යෝජනා කැඳවීම අවලංගු කළේ නැති අතර අවසානයේ මැතිවරණය කල් දමනු ලැබුවේ මැතිවරණ කොමිසමට නාම යෝජනා භාරගැනීමෙන් පසු ඒ සඳහා බලය ලැබීමෙන් අනතුරුවය.
කරුණු පෙළගැසෙන ආකාරයට ආණ්ඩුවට කෙසේ හෝ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අර්බුදය මැද්දේ තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උවමනාව පෙරටවිත් ඇති බව පැහැදිලිය. වසංගතය තවදුරටත් පැතිරී යන තත්ත්වයක් තුළ හා හරිහැටි පහව නොගිය තත්වයක් තුළ ඡන්දය පවැත්වීමට පසුබිම සැකසීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද නිසි තක්සෙරුවකින් තොරව ඉවත් කිරීම වසංගතයට නැවත අත වැනීමකි.
පසුගිය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් කීවේ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ හඳුනාගත් නියැඳි තුළ ඉලක්ක සහගත 42,000 ක් සිටින බවයි. මෙවැනි ප්‍රකාශයන්ට සැළකිය යුතු ප්‍රචාරයක් ලබා දුන් ආණ්ඩුව ජනතාවට ‘පාරට බහින්නවත් එපා’ යැයි කියමින් තමන් මතු කළ බරපතළ අවදානම තමන්ම නොතකා හරිමින් කටයුතු කිරීමේ සැලැස්මකට ආණ්ඩුව කල් බලමින් සිටින බව පෙනේ. එමගින් බරපතළ අවදානමකට මුළුමහත් ජනතාවම ඇද හෙළනු ඇත.
එමෙන්ම මැතිවරණයක් පැවත්වීමට අවශ්‍ය සාධාරණ හා අවම ප්‍රජතාන්ත්‍රවාදී වටපිටාවක් පවතීද යන ගැටළුවද මෙහිදී සැළකිල්ලට ලක් කළ යුතුය. විශේෂයෙන්ම මහජන ඒකරාශිවීම්වලට ජනතාව තුළම පවතින බිය නිසා රැස්වීම්, ජන රැලි, අත්පත්‍රිකා බෙදීම්, නිවෙස් වෙත යාම ආදී සියලු ක්‍රියාමාර්ග අවහිර වේ. මාධ්‍ය හරහා දැන්වීම් පළ කිරීමට අරමුදල් නොමැති, මාධ්‍යහිමිකරුවන් සමග සබඳතා නොමැති සියලු දේශපාලන ව්‍යාපාරවලට මෙම බරපතළ අසාධාරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයට සිය ප්‍රචාරක කටයුතුවලදී මුහුණ දීමට සිදුවේ.
එමෙන්ම කොරෝනා වසංගත තර්ජනය නිසා සැලකිය යුතු කාලයක් රටේ ආර්ථික ක්‍රියාවලියේ තිබු අඩපණවීම විසින් විවිධ සමාජ තීරයන් තුළ ඇති කොට ඇති ආර්ථික අසීරුතාවයන් දඩමීමා කරගනිමින් ඔවුන්ගේ ඡන්දය කොල්ලකෑම සඳහා ධනය, බලය හිමි අපේක්ෂකයන්ට මෙම තත්වය තුළ වැඩි ඉඩ කඩක් ලැබේ. එමගින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑම් සිදුවීම නොවැලැක්විය හැකිය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගත් විට අපගේ පැහැදිලි ස්ථාවරය වන්නේ මේ මොහොතේ මහ මැතිවරණය නොපැවැත්විය යුතු බවයි. මහ මැතිවරණය කල් තැබිය යුතු බවයි. එහිදී පැන නගින ගැටළුව වන්නේ මේ වන විටත් වර්ධනය වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවණතා තවත් තහවුරු කිරීමට ඉඩ කඩ එමගින් විවර වීමයි. එය පැහැදිලිවම වැළැක්විය යුතු තත්වයකි. මෙවැනි තත්ත්වයක් තුළ අධිකාරිය ලබා දිය යුතු අත්දැකීම් බහුල පරිණත සෞඛ්‍ය සේවයේ විද්වතුන් හා වෘත්තීයවේදීන් පසෙක ලා හමුදා ප්‍රධානියා මුල් කරගනිමින් හමුදාව අධි-නිශ්චය කරමින් ජනාධිපතිවරයා අතට බලය තවදුරටත් කේන්ද්‍රගත කරගනිමින් කටයුතු කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය අතිශයින්ම හානිකරය.
අනෙක් සියලුම පාර්ලිමේන්තු මෙන්ම පසුගියදා ජනාධිපතිවරයා විසින් විසිරුවා හැරි පාර්ලිමේන්තුවද මහජන අභිලාෂයන් නියෝජනය නොකළ බව සැබෑය. එම විවේචනය එසේම තිබියදී වුවත් ජූනි 02 දාට පෙර නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය දඩමීමා කරගනිමින් ජනතාවගේ ජීවිත අවදානමට හෙලමින් හා ප්‍රජාත්නත්‍ර -විරෝධී අයුරින් මහ මැතිවරණය පවත්වා තම දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වැලැක්වීම සඳහාත් මහ මැතිවරණය කල් දමා තනි පුද්ගලයකු අතට බලය කේන්ද්‍ර ගතවීම විසින් ඇතිකරන ප්‍රජතන්ත්‍ර විරෝධී තත්වය පාලනය සඳහාත් ගත හැකි සාපේක්ෂ පියවර වන්නේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි.
එමෙන්ම මේ වනවිට ක්‍රියාකාරීත්වය අවුරා දමා ඇති ගොවි සමිති, ධීවර සමිති, වෘත්තීය සමිති තරුණ හා ශිෂ්‍ය සංගම් ඇතුළු මහජන සංවිධානවලට සාමාන්‍ය පරිදි ක්‍රියකාරිවීමට ඉඩ සැලසීමත් තවත් ප්‍රධාන පියවරකි. එසේ මහජන සහභාගීත්වය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා යොදා ගත යුතුය. මැතිවරණය කල් දැමීම, පාර්ලිමේන්තුව නැවත කැඳවීම, සියලු මහජන සංවිධානවලට කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රජතන්ත්‍රවාදී වටපිටාව ස්ථාපිත කිරීම පවතින දේශපාලන අර්බුදයට විසඳුම ලෙස අපි යෝජනා කරමු.
වසංගත තත්වය තුළ මිලිටරි යන්ත්‍රණය සියලු ප්‍රශ්න විසඳන්නා ලෙස අදේශ කිරීම, මිලිටරි නායකයන් වසංගත නිවාරණ වැඩපිළිවෙළක නියමුවන් ලෙස යොදා ගැනීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආණ්ඩුවේ දිගුකාලීන පිළිවෙත ප්‍රකට කරන්නකි. එමෙන්ම ආණ්ඩුවේ මෙම හමුදාකරණ ක්‍රියාමාර්ගයන් පරිපාලන ක්ෂෙත්‍රයේ හා සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිරත වන්නන් තුළද අතෘප්තියක් ජනිතකර ඇත.
තවද පසුගිය දිනවල සමාජ මාධ්‍යයන්හි විවේචනාත්මක මත පළ කිරීම නිසා තෝරාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඞ් කිරීම් හරහා සිදු කෙරුණේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරාලීමකි. එම නිසා දැනටමත් මෙම අර්බුදය හමුවේ වත්මන් පාලනය පෙන්වා ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී හැසිරීම ප්‍රජතන්ත්‍ර ලැදි සියලු බලවේග විසින් දැඩිව අවධානය යොමු කළ යුතු කරුණකි.
එමෙන්ම වර්ධනයවන ආර්ථික අර්බුදය හමුවේ සමාජ ස්ථරයන් ගණනාවක් විවිධ ආකාරයේ ගැටළුවලට මුහුණ දී ඇත. දෛනික වැටුප් මගින්, ගොවිතැනින්, ස්වයං රැකියා හරහා හා ධීවර කර්මාන්තයෙන් ජීවත්වන සියලු දෙනා සිය දෛනික යැපීම පිළිබඳ බරපතළ ගැටළුවකට මුහුණ පා ඇත. ආණ්ඩුවේ ඊනියා සහනාධාරය පවා හරිහැටි හිමි නොවූ පිරිසක් ඇත. එ පිරිස් සඳහා කඩිනම් සහන සැලසිය යුතුව ඇත. එමෙන්ම ආර්ථික ක්‍රියාවලිය හරි හැටි පණගැන්වී සමාන්‍ය පරිදි සිය යැපීම ලැබෙන තුරු මෙම සහන අවශ්‍ය බවද අවධාරණය කරමු.
රැකියාවල නිරතවන පෞද්ගලික අංශ කම්කරුවන් හා වතුකම්කරුවන් මේ වනවිටත් බරපතළ අර්බුද ගණනාවකට මුහුණ දී ඇත. පෞද්ගලික අංශ කම්කරුවන්ගෙන් කොටසකට දැනටමත් සිය රැකියාවලින් ඉවතට දමන බවට දැනුම් දී ඇත. තවත් කොටසකට වැටුප් මුළුමනින්ම ගෙවා නැත. තවත් පිරිසකගේ වැටුපෙන් කොටසක් පමණක් ලබා දී ඇත.
මේ බොහෝ ආයතන මෙසේ සිදු කරන්නේ අතිවිශාල ලාභයක් පසුගිය වසරෙත් මේ වසරේ මාර්තු මස දක්වාත් අත්පත් කරගෙන තිබියදීය. වතු කම්කරු ප්‍රශ්නයද මේ තත්වය තුළ තවත් බැරෑරුම් වී ඇත. ඔවුන්ගේ දෛනික වැටුප රු. 1000 ක් කරන බව ආණ්ඩුවේ ප්‍රධානීන් ප්‍රකාශ කළද එය සිදු වූයේ නැත. මේ වන විට රටේ අනෙකුත් දිළිඳු පුරවැසියන්ට දෙන සමෘද්ධි වැනි කිසිදු සහනයක් වතුකම්කරුවන්ට නොලැබෙන අතර බොහෝ ආයතන මගින් වැටුප පවා ලබා දී නැත. මෙම අසාධාරණ තත්වය නිවැරදි කිරීමට කම්කරු අමත්‍යංශය හරහා සක්‍රිය මැදිහත්වීමක් ආණ්ඩුවෙන් කළ යුතුව ඇත.
ණය කපාහැරීම් හරහා ලැබිය යුතු සහනයද විවිධ වචන හරඹ හරහා උත්කර්ෂයට නංවන ලද මුත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට එම සහන නොලැබුණු බව පෙන්වාදිය යුතුය. මාර්තු මස වැටුපෙන් ණය වාරික කපා ගත් අතර ඒ පිළිබඳ පැහැදිලි කිරීම වුයේ බැංකු වෙත රජය හරිහැටි දැනුම් දීමක් නොකළ බවයි. අප්‍රේල් වැටුපෙන්ද ණය වාරික බැංකු විසින් අයකර ගනු ලැබුවේ ණය අය නොකර සිටීමට නම් ණයහිමියා විසින් බැංකුව වෙත නිල දැනුම් දීමක් කළ යුතු යැයි පවසමිනි.
මෙම වචන හරඹ හරහා සිදු වූයේ මාර්තු, අප්‍රේල් වැටුප් දෙකෙන්ම ණය වාරික අයකර ගැනීමයි. ඉදිරි මාස කිහිපයක් සඳහා දිගු කරමින් හෝ මෙම සහනය, රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට ලබා දිය යුතුව ඇත. ණය ගෙවීම් පිළිබඳ තාවකාලික සහනයන් සැබෑ විසඳුමක් නොවන්නේ හිගයත් සමග මෙම ණය වාරික ආදායමක් නොලබා ඇති තත්වයක් යටතේ ඉදිරියේ දී ගෙවීමට සිදුවීමයි. එනිසා සිදු කළ යුතුව ඇත්තේ මෙතෙක් අධිලාභ ලබාගන්නා ලද කුවේර සමාගම් මූලික කොටගත් අරමුදලක් සකස් කොට පොදු මහජනතාවගේ ණය වාරික ඇතුළු අනෙකුත් සහන දීමනා ලබා දීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීමයි.
නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යපනය ක්‍රමාණුකූලව දියකර හරමින් එය ලාභ ඉපයීමේ මාධ්‍යයක් ලෙසින් පෞද්ගලික අංශයට නතු කිරීමේ දශක තුනක් තිස්සේ සියලු ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරමින් ආ ප්‍රතිපත්තියෙන් රජය වහා ඉවත් විය යුතුය. මෙවැනි අර්බුදයක් ඉදිරිපිට දශක ගණනාවක් තිස්සේ මෙරට වැඩ කරන ජනතාව විසින් සිදු කරන ලද විවිධාකාර අරගලයන් හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය මෙපමණකින් හෝ ආරක්ෂා වී නොපැවතියා නම් මෙවැනි අර්බුදයක් මධ්‍යයේ සිදුවන ව්‍යසනයේ තරම සිතා ගැනීමට පවා අපහසුය.
මේ වනවිටත් රොහල්වල බරපතළ ඖෂධ හිඟයක්, බරපතළ සේවක හිඟයක් පවතින අතර (වාර්තාවන ආකාරයට හෙද කාර්යමණ්ඩල සාමාජිකයන් හිඟය පමණක් 30,000 කි), පරීක්ෂණාගාර පහසුකම් අවමවීම, හෘද රෝගීන්ගේ ළය සැත්කම් වසර කිහිපයක පෝලිම්වල සිටීමට සිදුවීම, පිළිකා රෝගීන් දැරිය නොහැකි වියදම්වලින් පීඩා විඳීම නිතර ඇසෙන ප්‍රශ්න බවට පත්ව ඇත. අංශභාග තත්වයට ඇද දමා ඇති මෙරට සෞඛ්‍ය සේවයට මීළඟ අයවැය මගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සුවිශේෂී පංගුවක් වෙන් කළ යුතු අතර වසර තුනක් තුළ මුදලට නොවිකිණෙන නිදහස් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.
ගැටළු පැන නැගී ඇති තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙන නමුත් මේ මොහොතේ අත්‍යවශ්‍යයෙන් ප්‍රමුඛ අවධානය දිනාගත යුතු කරුණු පමණක් මෙහි සඳහන් කළෙමු. ඉහත ගැටළු හා ඒ පිළිබඳව යෝජනා වෙත අවධානය යොමු කළ යුතු බවට අපි දැඩිව අවධාරණය කරමු.