බොරු දුම් හට්ටියට මුලා නොවී නියම ක්‍රමයට වේදුවක් අල්ලමු …!

April 11, 2020

මේ දින වල ජනමාධ්‍ය වලින් දෙන වැරදි ප්‍රචාර නිසා කොරෝනාවට එරෙහි හෙළසුවය නමින් විකුණන දුම් හට්ටියක් ගැන ලොකු කතාබහක් ඇති වේ තිබේ. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේදය පිළිබඳ ව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලෙස මේ දුම් හට්ටිය සම්බන්ධයෙන් සමාජගත වී වැරදි අදහස් කිහිපයක් වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු.

  1. දුම් හට්ටිය කියන වචන වලින් සමාජගත වන්නේ ම වැරදි අරුත නිසාම බටහිර වෛද්‍යවරුන් දේශීය වෛද්‍ය ක්‍රමයට පහර දීමට අවස්ථාවක් ලබා ගෙන තිබේ. නියම ආකාරයෙන් වේදුවක් සකසා ගන්නනට අවශ්‍ය වන්නේ මුට්ටියක් වන අතර එයින් පිටවන්නේ දුමක් (smoke) නොව වාෂ්පය (steam) වේ. එනිසා අපි සකසා ගත යුත්තේ දුම් හට්ටියක් නොව “වේදු මුට්ටියකි.”
  2. එසේම මෙම දුම් හට්ටිය වට්ටෝරුවේ ඇති සිය ගණනක් ඖෂධ කිසිදු පදනමකින් තොරව ඊට එකතු කර ඇති අතර ඒවා අතර දේශීය වෙදකමේ භාවිතයට නොගන්නා වර්ගයන් ද අඩංගු වේ. එබැවින් මෙය ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට අයත් හෝ ඒවාට අනුකූලව සකස් කළ වට්ටෝරුවක් නොවේ.
  3. මෙම දුම් හට්ටිය කලක් සිට හෙළසුවය නම් පුද්ගලික සමාගම මගින් වෙළෙඳපොළ තුළ විකුණන නිෂ්පාදනයක් වන අතර මෙම කොරෝනා ව්‍යසනයේ දී එයින් කොරෝනා සුව වන බවට ව්‍යාජ ප්‍රචාරයක් දීමෙන් අලෙවිය වැඩි ක‍ර ගැනීමේ කූට ජාවාරමක් වේ.
  4. IDH රෝහලේ දී සුව වූ පළමු රෝගියා මෙම දුම් හට්ටිය නිසා සු වූ බව ප්‍රචාරය කිරීම ඉතා ලජ්ජා සහගත බාල වර්ගයේ වෙළෙඳ ප්‍රචාරයක් වන අතර ඒ දුම් හට්ටිය රෝහල තුළ භාවිතා නොකළ බව රෝගීයා මෙන්ම දුම් හට්ටියේ අයිතිකරුවන් ද පිළිගෙන තිබේ.
  5. එබැවින් මෙම දුම් හට්ටිය COVID-19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස හෝ එයින් වැළකීමට භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. එම සංයෝගය ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක්‍රමය මගින් කිසිසේත් අනුමත නොකරන ද්‍රව්‍ය එකතුවකි.
  6. එසේම මෙම සංයෝගයේ සමහර ද්‍රව්‍ය සමහර පුද්ගලයින් හට අසාත්මික හෝ විෂ වීමක් සිදුවිය හැකි බැවින් මෙවැනි අනාරක්ෂිත දුම් හට්ටියක් භාවිතා කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට හානියක් සිදුවීමෙන් මෙවැනි අවස්ථාවක ප්‍රතිශක්තිය තවත් පහළ යාමෙන් රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිවිය හැකිය.
  7. මෙම දුම් හට්ටිය භාවිතා කරන උපදෙස් අනුව එය කිසි සේත්ම මෙවැනි රෝගයකට අදාළව පාවිච්චි කරන ආකාරයේ ක්‍රමයක් නොවන බව කියා යුතුය. සාමන්‍යයෙන් නාසය, උගුර හෝ පෙනහළු ආශ්‍රිත ස්වසන පද්ධතියේ රෝග වලදී සන්ධි හෝ කොඳු ඇට පෙළ දිගේ තැවීමක් නොකරයි.
  8. තවද කෙනෙකුට සොයා ගැනීමට අමාරු තරම් විශාල සංඛ්‍යාවක් නම් මෙම වට්ටෝරුවට ඇතුළත් කිරීමෙන් නිවසේදී සරල වේදුවක් සාදා ගැනීමට ඇති ඉඩකඩ අහුරා තම වෙළෙඳ නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගැනීමට උපක්‍රමයක් භාවිතා කර තිබේ.

දැන් අපි බලමු වේදුවක් නිවසේදී සාදා ගන්නා නියම ක්‍රමය. මේ සඳහා අවශ්‍ය වන්නේ කට කුඩා මුට්ටියක් (මැටි නම් වඩා සුදුසුයි) හා නිවස අවටින් සොයා ගත හැකි සරල ඖෂධ කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් මෙවැනි වාෂ්ප ආඝ්‍රාණ සංයෝගයක් සඳහා ගනු ලබන්නේ පැඟිරි කුලයේ ද්‍රව්‍ය හෝ යම් ආකාරයක වාෂ්පශීලී තෛල අඩංගු ද්‍රව්‍ය වේ.

වාෂ්ප වේදුවක් සඳහා ගත හැකි ද්‍රව්‍ය:
+++++++++++++++++++++++++
දෙහි කොළ, යකිනාරන් කොළ, පඹුරු කොළ, බෙලි කොළ, නික කොළ, පාවට්ටා කොළ, මදුරුතලා කොළ, කුරුඳු කොළ වැනි දේවල් (මේවා හොයාගන්න නැති වෙලාවක දෙහි ගෙඩියක් කපල දැම්මත්, දෙහි ලෙලි, දොඩම් ලෙලි හෝ කුරුදු පොතු වුවත් ප්‍රමාණවත්. ඒ වගේ කරන කොට උනුවතුරට ඒ ටික දාල වහල නටවල ගැනීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි.)

සකස් කරන ක්‍රමය:
++++++++++++
ඉහත ඒවායින් එකක් හෝ දෙකක් සොයා ගෙන ඒවායින් අහුරු දෙකක් තුනක් ගෙන අවශ්‍ය නම් කොත්තමල්ලි මිටක් හා කුඩා අමු ඉඟුරු කැබැල්ලක් ද දමා එය ලිපේ තබා හොඳින් වසා වතුර නටන තෙක් තැම්බීම කළ යුතුය. එසේම වතුර රත්වීමෙන් පසුව කොළ වර්ග දමා වසා නටවා ගැනීමෙන් වාෂ්පශීලී තෛල වල ක්‍රියාව වඩාත් හොඳින් ලබා ගත හැකි බව ද මතයකි.

වේදුව අල්ලන ක්‍රමය:
+++++++++++++

  1. හොඳින් තම්බා ගත් පසු මුට්ටිය වසා තිබිය දීම තමන් අසලින් ඉදිරියෙන් කකුල් දෙක මැදින් බිම තබා ගත යුතුය.
  2. මිටි අසුනක වාඩි වී වේදු මුට්ට්ය ද ආවරණය වන පරිදි රෙද්දකින් හිසේ සිට වසා ගත යුතුය.
  3. මුලින් හිස කෙළින් තබා ගෙන ඇස් දෙක වසා ගෙන මුට්ටියේ වැස්ම ඉවත් කළ යුතුය. මුල් අවස්ථාවේ දී රස්නය වැඩි නම් රෙද්ද තරමක් පුළුල් කොට වාෂ්ප විසිරී යාමට ඉඩ සලසන්න.
  4. වාෂ්පයේ රස්නය තමන්ට දරා ගත හැකි පමණට හිස ඉදිරියට පාත් කොට මුට්ටියෙන් නික්මෙන වාෂ්පය නාසයෙන් ආඝ්‍රාණය කළ යුතුය. මෙසේ ආඝ්‍රාණය කරමින් මුඛයෙන් හුස්ම පිට කළ යුතුය.
  5. කීප වාරයක් සිදු කිරීමෙන් පසුව මුට්ටිය වසා ටික වෙලාවක් (විනාඩියක් පමණ හෝ වසන අරින වාර ගණන අනුව වැඩි විය හැකිය) තැබිය යුතුය. නැවත වැස්ම විවෘත කොට වාෂ්පය පෙර පරිදිම ආඝ්‍රාණය කළ යුතුය.
  6. ඒ සෑම වාරයකම ක්‍රමයෙන් වාෂ්ප රස්නය හා වාෂ්ප නික්මීම අඩු වන නිසාත් හොඳින් වාෂ්පය ආඝ්‍රාණය කිරීමට හිස තරමක් පහත් කිරීම අවශ්‍ය වේ.
  7. හොඳින් දහදිය දමන විට වේදුව ඇල්ලීම නතර කළ යුතුය.

සැලකිය යුතු කරුණු:
++++++++++++

  1. වාෂ්පය පිට නොවන පරිදි රෙද්ද පොරවා ගත යුතුය.
  2. මෙම වාෂ්ප මුට්ටිය පෙරළීමෙන් පිළිස්සීමට ඉඩ ඇති නිසා ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය.
  3. කිසි විටෙකත් මුල් වතාවේ දී මුට්ටිය අරින විට හිස එක වර පහත් නොකළ යුතුය.
  4. මෙම වේදු මුට්ටිය සෑම කෙනක් සඳහාම අළුතෙන් සකසා ගත යුතුය.
  5. කුඩා දරුවන් හෝ මහළු අයට හා යම් අසාත්මිකතා ඇති අයට මෙම වෛද්‍ය උපදෙස් අනුව පමණක් සිදු කළ යුතුය.
  6. මෙය කිසි සේත්ම COVID-19 රෝගයට ප්‍රතිකාරයක් නොවේ.
  7. රෝගය වළක්වා ගැනීමට සම්මත සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකොට මෙම වේදුවක් මගින් පමණක් රෝගය වළක්වා ගැනීම සිදු කළ නොහැකිය.
  8. දිනකට කිහිප වතාවක් මෙය සිදු නොකළ යුතු අතර දිනපතා සිදු කිරීම ද අවශ්‍ය නොවේ.
  9. මෙය සිදු කරන අතරවාරයේ යම් ආකාරයක සැකසහිත රෝග ලක්ෂණ මතු වුව හොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
  10. තමා නොදන්නා හෝ වෛද්‍යවරුන් අනුමත නොකළ කොළ වර්ග මෙම වේදු ඇල්ලීම සඳහා භාවිතා නොකළ යුතුය.

(මේ උපදෙස් සාමන්‍ය මහජනතාව වෙනුවෙන් පමණි. පසුගිය දින වල කැඳ මුට්ටියට හා දුම් හට්ටියට විරුද්ධව ලියූ පෝස්ට් වලින් පසු මා සමඟ කුපිත වූ උරණ වූ වියතුන්, නින්දා අපහාස කළ සත්පුරුෂයින් ඉන්බොක්ස් එකෙන් සාප කළ, තර්ජනය කළ පින්වතුන් තව දුරටත් රැඳී සිටින්න. ඔය දුම් හට්ටියේ නිර්මාතෘ ගේ ලේ වල සීනි මට්ටම බලමු. කුලී මැරයින් ගේ ආධ්‍යාත්මයට එබී බලමු. ගස්ලබු ලෙලි හරකුන්ට දෙමු.? අළු කෙසෙල් ලෙලි මැල්ලුම් හදමු. පැෂන් ඇට සිටවමු. වතුසුද්ද මල්, ඕලු මල්, අරලිය මල් බුදුන්ට පුදමු. මිථ්‍යාව වෙනුවට සත්‍යය පතුරමු. විද්‍යාව පහළ කරමු.)

t

o

p