සියලුම දෙනා එක්ව කොරෝනා වෛරසය පරාජය කරමු

April 3, 2020

මේ මොහොතේ සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා විශ්වාස භංගයක් ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායක රැස්වීමේදී අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්‍ෂ නායක රැස්වීම පැවැත්විණි.

රට දරුණු වසංගතයකට මුහුණ දී ඇති මොහොතේ  පාර්ලිමේන්තුව වහා කැඳවිය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී හිටපු කතා නායක කරූජයසුරිය, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමල ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහත්වරුන් අදහස් දක්වා තිබේ.

ඊට විරෝධය පළ කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්‍ෂ සහ උදය ගම්මන්පිල මහත්වරුන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව රැස් වුව හොත් විපක්ෂය එක්ව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරනු ඇති බවයි. ඒ නිසා මේ මොහොතේ පාර්ලිමේන්තුව රස කිරීම සුදුසු නැති බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබේ.

මෙම කරුණු දැක්වීම් සාවදානව අසා සිටි  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ කළ යුත්තේ ආණ්ඩු වලට එරෙහිව විශ්වාසභංග ගෙන ඒම නොව සියලුම දෙනා එක්ව කොරෝනා වසංගතයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම බවයි.

පටු දේශපාලන අරමුණු වලට සිර නොවී මේ මොහොතේ මව් බිම වසංගතයෙන් බේරා ගැනීමට කටයුතු කොට යථා තත්වයට පත් වු පසු තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ගැන කල්පනා කිරීම සුදුසු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ එම අදහස් වලට සියලු පක්‍ෂ නායකයන්ගේ අනුකුලතාවයක් හිමි වු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p