“කොරෝනා සැදුණු පූසෙක් බෙල්ජියමෙන් ” අපි බිය විය යුතු ද …?

April 2, 2020

බෙල්ජියමේ  සුරතල් පූසෙකුට උගෙ  හිමිකාරිය වන කාන්තාවකගෙන් කොරෝනා රෝගය වැළඳී ඇති බව ජන මාධ්‍ය මගින් ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනා ඉන් කලබලයට පත්ව ඇති බව පේන්න තියෙනවා .මෙම කාන්තාව ඉතාලියේ සංචාරයකින් පසුව බෙල්ජියම ට පැමිණ ඇති අතර ඇයට  නව කොරෝනා  වෛරසය  ආසාදනයවී , රෝගය වැළඳී තිබෙනවා . 

ඇය විසින් සිය  සුරතල් පූසා සිප ගැනීම සහ මුහුන අසල තබා ගැනීම සිදු කළ බව පැවසෙනවා .

කෙසේ වෙතත් එම පූසා බඩ එලිය යාම ,වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ පෙන් වීම හේතුවෙන් එම කාන්තාව විසින් පූසා ගේ මළපහ සහ වමනය කොටස් එරට  පශු වෛද්‍ය ආයතනයක් වෙත යවා තිබෙනවා . එහිදී තමා අනාවරණය වී තිබෙන්නේ එම නියැදි තුළ නව කොරෝනා වෛරසය අඩංගුව ඇති බව .

මේ බව පසුගිය 27 වන දා බෙල්ජියමේ පශු වෛද්‍ය ආයතනය විසින් මාධ්‍යයට නිරාවරණය කරනු ලැබුවා. නමුත් මේ පිළිබඳව වෛරස පිළිබඳ  පශුවෛද්‍ය  මහාචාර්යවරුන් සැක පහළ කරනවා .ඔවුන් කියා සිටින්නේ ජනමාධ්‍යට  මෙය නිරාවරණය කිරීමට පෙර පරීක්ෂණය සාර්ථකව සිදු කළා දැයි සහතික විය යුතුව තිබූ බව යි. 

එනම් මෙහි දී පරීක්ෂා කරන ලද සාම්පල රෝගී කාන්තාව විසින්ම එකතු කොට පශු වෛද්‍ය ආයතනය වෙත යවන ලද සාම්පල වීම හේතුවෙන් එම සාම්පල එකතු කිරීමේ දී රෝගී කාන්තාවගේන් එම සාම්පල් වලට වෛරස එකතු වූවා ද යන්න බැහැර කළ නො හැකි කරුණක් බව ඔවුන් සඳහන් කරනවා . 

වඩා නිවැරදි පරීක්ෂණයක් සඳහා ස්වාධීනව ලබා ගත් සාම්පල මෙන්ම පූසා ගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ පරීක්ෂා කොට බලා නිගමනයකට පැමිණ යුතුව තිබූ බවයි ඔවුන්ගේ අදහස වන්නේ කොරෝනා රෝගය සඳහා සිදුකරන  පරීක්ෂණය polymerase chain reaction හෙවත් PCR පරීක්ෂණය නමින් හඳුන්වනවා එයින් සිදු කරන්නේ අදාළ නියැදියේ ඇති ,වෛරස් වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණය  විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ඉන්පසු එහි RNA නම් ප්‍රවේණික ද්‍රව්‍ය පරික්ෂා කොට බලා කොරෝනා  වයිරසයට අදාල  ප්‍රවේණික ද්‍රව්‍ය කේතයන් එහි අඩංගුව තිබෙන්නේ දැයි පරීක්ෂා කිරීමයි. මෙහි දී වෛරස කුඩා ප්‍රමාණයක් අඩංගු වීම වුවත් පරීක්ෂණ සදහා  ප්‍රමාණවත් වනවා.

එ නිසා තමා සැකයක් මතු වෙන්නේ රෝගී කාන්තාවගේන්  එම සාම්පලය එකතු කිරීමේදී ඒවාට වෛරස්  ඇතුළු වූවා ද යන්න පිළිබඳව . කොරෝනා වෛරසය සතුන් අතර  අනාධිමත් කලක සිට රෝග ඇති කරන රෝග කාරකයක් .ඒ නිසා තමා කොරෝනා  රෝගයේ ආරම්භය වවුලන් තුළ සිදු වූවාදැයි  මතයක් විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කොට ඇත්තේ.මෙම වෛරස් කාණ්ඩය සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව  රෝග ඇති කරන බව ට  හොඳින් දන්නා වෛරස් කාණ්ඩයක් . 

මීට පෙරත්  කොරෝනා වෛරසය සිය ආසාදිත  ස්වාමියන්  වෙතින්   ආසාදනය වූ බල්ලන් දෙදෙනෙක් පිළිබඳව හොංකොං රටින් වාර්තා වුණා.එම සුනඛයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අතර ඔවුන් ආසාධනය වී ඇති බව  සොයා ගෙන  ඇත්තේ බල්ලන් රාශියක් රෝග නිරාවරණය කර ගැනීමේ පරීක්ෂණයන්ට(screening tests)භාජනය කිරීමේ දී ය . 

මෙහිදී වයිරස් පිළිබඳ පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය වරුන්ගේ මතය වන්නේ මිනිසාගෙන් සතුන්ට රෝගය  බෝවීමේ හැකියාව තිබුණත් සතුන් ගෙන් තවත් සතෙකුට හෝ එම සතුන්ගෙන් නැවත මිනිසාට මෙම  රෝගය ආසාදනය වන්නේ නැති බවයි. එම සතුන් තුල රෝග කාරක වෛරසය තිබුණද එය මිනිසා ආසාදනය කිරීමට සමත් ප්‍රමාණයකින් එම සතුන් විසින් බැහැර නො කරන බව එම විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරනවා.

 රෝගී පූසා මේ වන විට සුවය ලබා සිටින බවයි වාර්තා වන්නේ .මිනිසුන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයකට  රෝගය  ආසාදනය වී ඇතත්  රෝගී වූ සතෙකු පිළිබඳ ව වාර්තා වන්නේ මෙම පූසා පමණි . එම නිසා බෙල්ජියමේ පශු වෛද්‍ය ඒකකය මෙන්ම  පශු වෛද්‍ය වයිරස් විශේෂඥවරුන් පවසන්නේ මෙය හුදෙකලා එක් විශේෂිත සිදුවීමක්  පමණක් බව යි .

ඒ අනුව කිසිවෙක් විසින්  සුරතල් සතුන් වෙතින් තමන්ට කොරෝනා රෝගය ආසාදනය වේ යැයි අස්ථාන බියක් ඇති කරගත යුතු  නොවන බව ඔවුන් පවසා සිටිනවා . එම නිසා මෙම ප්‍රවෘත්තියන් කිසිවකු කලබල වී තම  සුරතලුන් ඉවත් කිරීම කිසිසේත්ම සිදු කිරීම අවශ්‍ය නොවන බව අවධාරණය කරනවා  වෛද්‍ය ,නීතිඥ  පාලිත බණ්ඩාර සුබසිංහMBBS (Peradeniya) LL.B (OUSL) cer.psychology & counseling ජාතික රෝහල මහනුවර   

t

o

p