පමුණුගම සිට මීගමුව තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර දෙසට වන්නට මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන වැලි ජවාරම මීට පෙර කිසි කලෙක සිදු නොවූ ලෙසින් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදීන් සහ එම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වැලි, ගල්, පස් ප්‍රවාහනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග ප්‍රාදේශිය දේශපාලකයන්ගේ සහාය ලබන පිරිස් විසින් මේ වැලි ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී තිබේ. මේ අතර මීගමුව කළපුව හෑරීමේ මුවාවෙන් සිදු කෙරෙන මහා පරිමාණ වැලි, පස් ජාවාරමට විරෝධතාවයක් පසුගියදා මීගමුව පිටිපන හන්දියේ දී සිදු කෙරිණි.
ප්‍රදේශයේ ධීවර ප්‍රජාව මෙහෙයවන ලද මෙයට ප්‍රදේශයේ කිතුනු පූජකතුමන්ලා ද එක්ව සිටියහ.
මේ විරෝධතාවට එක්වූ පිරිස් මාධ්‍යයට පවසා සිටීයේ මීගමු කළපුව සංවර්ධනය කිරීමේ මුවාවෙන් බැකෝ යන්ත්‍ර යොදාගෙන කළපුව හාරා වැලි පැහැර ගැනීම මීට පෙර ද අවස්ථා ගණනාවක සිදු වූ නමුත් ධීවරයන්ගේ විරෝධතා මත ඒ අවස්ථාවල ඒවා නතර වූ බවය.
එමෙන්ම මේ වන විට ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මෙන්ම පරිසර දූෂණ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සහ උපකාරයෙන් සිදු කෙරෙන මේ ක්‍රියාව නිසා මීගමු කළපුව මේ වන විට අනවශ්‍ය ලෙස ගැඹුරු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර මීගමු කළපුවට නැගෙනහිර පමුණුගම සිට මීගමුව දක්වාත් පෙරියමුල්ලේ සහ කට්ටුවේ සිට මාඔය දක්වාත් වැටී ඇති වසර දහස් ගණනක් පැරැණි ස්වභාවික වැලිවැටිය ද වැලි ජාවාරම්කරුවන් අතට පත්ව ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ භූවිද්‍යාත්මක ලක්ෂණ සහ ඛනිජ සම්පත් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කළ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික භූවිදා්‍යඥයකු වන මහාචාර්ය ජිනදාස කටුපොත මහතා විසින් සකසන ලද වාර්තාවේ වැටි සහ දියාතු[ridge and runnels] වශයෙන් වෙන් කොට දක්වා ඇති මේ වැලි සහිත භූවිද්‍යාත්මක පාෂාණ පද්ධතියට ද ප්‍රදේශ කිහිපයකදී බරපතළ හානි සිදුව ඇති බව පෙන්වා දෙන පරිසරවේදීන් පවසනුයේ ඒවාට වගකිව යුතු නිලධාරීන් එම හානිය ගැන තබා අඩු තරමින් එවන් භූවිද්‍යාත්මක සහ පාෂාණ පද්ධතියක් පිළිබඳ නොදන්නා බවයි.
එමෙන්ම මේ ස්වභාවික සහ පාරිසරික සම්පත් විනාශය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් දැනුවත් කළ ද ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති වීම මත මේ ස්වභාවික සහ පාරිසරික සම්පත් නුදුරේදීම ජාතියට අහිමි වී සුනාමි වැනි පාරිසරික වසංගතයන්ට ගම්පහ දිස්ත්‍රික්කය ලක්වීමේ පහසු අවදානමක් පැන නැගීම ඒකාන්තයෙන්ම සිදුවන බවට පරිසරවේදීහු අනතුරු අඟවති.
තිලක් සේනාසිංහ