අභියෝගයට සාමුහිකව මුහුණ දෙමු

March 17, 2020

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර  මේ මොහොත වන විට එය ශ්‍රී ලංකාව කෙරෙහිද සිදුකොට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබේ.

ලොව දියුණු රටවල් මෙම උවදුර හමුවේ පත්ව ඇති අසරණ තත්වය දෙස බලන කල ශ්‍රි ලංකාව වැනි අඩු ආදායම් තත්වයක් සහිත රටකට එය කෙතරම්  අභියෝගයක් දැ’යි අනුමාන කළ හැක.

මේ තුළින් එදිනෙදා ජන ජීවිතයට සිදුවන හානිකර  බලපෑම මේ මොහොතේ මෙන්ම දිගුකලක්  බලපැවැත්වෙනු  ඇත.

රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සහ සකලවිධ ආදායම් මාර්ග කෙරෙහි වන  බාධා නිසා ඇතිවන මුල්‍යමය ශක්තිය පිරිහීම  සෑම පුද්ගලයෙකුටම විශාල පීඩනයක් ඇති කරයි. විශේෂයෙන්ම එදිනෙදා උපයන ආදායමෙන් ජීවිකාව සලසා ගන්නා ජනතාව අතිශයින් බරපතල අවධානමකට මුහුණ පා තිබේ.

මෙවන් ජාතික ව්‍යසනයක් හමුවේ රට වැසියන් එකමුතුව, වගකීමෙන් යුතුව බුද්ධිමත්ව ක්‍රියා කිරිමත්, දේශපාලන නායකත්වය පටු අරමුණුවලින් තොරව  නිවැරදි තීන්දු ගැනීමත් පැහැරහල නොහැකි වගකීමකි. 

මෙම බිහිසුණු අවස්ථාවේ සියලු පාර්ශවයන්හි අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික ජාතික සමුළුවක් කැඳවීම හෝ පාර්ලිමේන්තුව කැඳවීම වැදගත් වනු ඇති බව පෙනී යයි.

රජයේ හා පෞද්ගලික අංශයේ නිවාඩු ලබාදීම, පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන වසා තැබීම, අත්‍යාවශ්‍ය සේවා සැපයීම  වැනි අනෙකුත් වැදගත් තීන්දු තීරණ ගැනීමේදී එවන් ජාතික මණ්ඩලයක සාමුහික අදහස් ඔස්සේ ලොව බොහෝ රටවල් මේ ආකාරයේ  අභියෝග සාර්ථක ලෙස ජයගෙන ඇති බවද පෙන්වා දෙමි.

එබඳු  ප්‍රවේශයක් කෙරෙහි හැකි ඉක්මණින් අවධානය යොමු කරන ලෙස ගරු ජනාධිපතිතුමන් ඇතුළු රජයට සත්භාවයෙන් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

කරු ජයසුරිය                                             

හිටපු කථානායක 

t

o

p