කොරෝනාවෙන් බේරෙන්න උපදෙස් මාලාවක්

March 15, 2020

කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන බැවින් එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ විය හැකියි. එයින් ආරක්ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.

කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම, නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගැනීම, භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම ආදී කරුණු අනිවාර්යෙන් පිළිපැදිය යුතු බව එම උපදෙස් මාලාවේ දැක්වෙනවා. එමෙන්ම තැන තැන කෙළ නොගැසීම, සබන් යොදා නිතර දෑත් සේදීම, ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම වැනි පුරුදු ඇති කර ගැනීමද ඉතා වැදගත්.

කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම මෙන්ම නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම, සංචාරවලින් වැළකී සිටීම, ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම වැනි පුරුදු ඇති කර ගැනීම වඩාත් වැදගත් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙනවා.

සිප වැළඳ ගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම, මෙන්ම එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම යනාදී කාරණා අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.

t

o

p