කැළණිවැලි නව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නව නිවාස

February 28, 2020

තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන්  ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පළමු අදියර ආරම්භ විය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 70 ක් ලබාදිම වෙනුවෙන් එම නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඔප්පු සහ යතුරු ප්‍රදානය කිරීම සිදුවූ අතර  එම අවස්ථාවට තදාසන්න දුම්රිය මාර්ග ව්‍යපෘතියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

කැළණිවැලි නව දුම්රිය  මාර්ග ව්‍යාපෘතිය යටතේ නව නිවාස ලබාදීමට සුදුසුකම් ලබා ඇති පවුල් ගනන 274 කි. ඒ සදහා මේ වනවිට නිවාස 354 කින් සමන්විත මහල් නිවාස යෝජනා ක්‍රමයක් මිලදීගෙන තිබෙන අතර  එම නිවාස සංකීර්ණයේ නිවාස බෙදාදීම අද දින සිදුවිය.

යෝජිත කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතය. එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදිවන්නේ ගුවන් මාර්ගයක් වශයෙනි. අඩි 18 ක් උස කුළුණු  මත ඉදිවන එම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 22 ක් දිගින් යුක්තය. මෙම දුම්රිය මාර්ගය නිසා අවතැන් වන ජනතාව  නැවත පදිංචි කිරීමට අවශ්‍ය සමස්ත නිවාස ගණන 1244 කි. ඉන් දැනටමත් නිවාස 384 ක් ව්‍යාපෘතිය විසින් මිලදී ගෙන ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, තමන් උපන් ගම්බිම් අතහැර වෙනත්  ස්ථාන වලට යාමට බොහෝ දෙනෙක් අකමැති නමුත් එවැනි තත්ත්වයක් තුළ මෙම ජනතාව තමන් පදිංචි ස්ථාන අතහැර මහල් නිවාසයකට පදිංචියට යාමට කැමතිවීම පිළිබදව එම ජනතාව වෙත කෘතඥතාවය හිමිවිය යුතු බවයි.

තවද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බවත්, පාඩු ලැබූ ආයතනයක් මෙන්ම සේවක වැඩවර්ජන, උද්ඝෝෂණයන් පැවති  දුම්රිය දෙපාර්තමේන්තුව, ලාභදායී ආයතනයක් බවට පත්කරමින් මගී ජනතාවගේ මෙන්ම සේවක පිරිසගේ සුබ සිද්ධිය උදෙසා නවීකරණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.  

t

o

p