සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ඒකමතිකව අනුමත වෙයි

February 29, 2020

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කරගත යුතුව ඇතැයි පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට කළ දැනුම් දීම මත එහි ව්‍යවස්ථාව ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ සංශෝධන කිහිපයක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල මගින් සිදු කරනු ලැබීය.

සමගි ජන බලවේගය සංධානයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා සැකසීමේදී පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියද අවශ්‍ය බවට ද සෙසු පක්‍ෂ වල නාමයෝජනා සකස් කිරීමේදී ඒ ඒ පක්‍ෂ නායකයන්ගේ අනුමැතිය පරිදි සිදුකල යුතු බවටද එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුම් දෙනු ලැබීය.

සමගි ජන බලවේගය මහා මැතිවරණයට මුහුණ දිය යුත්තේ කුමන ලකුණකින් දැයි යන තීරණයට එළඹීමට ඊයේ දිනයේදීද නොහැකි වු බවත් එය තීරණය කිරීම සඳහා ලබන ඉරිදා (01) විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කැඳවීමටත් තීරණය වු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අතර සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන ලකුණ බොහෝ දුරට අලියා හෝ හංසයා විය හැකි බව පක්‍ෂ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි නැඹුරුවක් ඇත්තේ අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම වන හෙයින් බොහෝ විට එය අවසන් තීරණය වීමට ඉඩ ඇතැයිද එම ජේෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලංකාදීපයට අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ මහ ලේඛම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කලේ සුළු සංශෝධන කිහිපයක් සහිතව සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ අතර ලබන ඉරිදා පස්වරුවේදී මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳව අවසන් තීරණයට එළඹෙන බවයි.

මේ අතර කොළඹ නෙලුම් පොකුනේදී ලබන සඳුදා (02) පැවැත්වෙන සමගි ජන බලවේගය ජන ගත කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වීමටද එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

(අංජුල මහික වීරරත්න)

t

o

p