දන්සල් වලින් කන මිනිස්සු දහදාහත් තමන්ගේ ගෙවල්වලට එක්ක යන්න කියලා දන්සල් දෙන මිනිස්සුන්ට කිව්වොත් ?

February 26, 2020

අනුරාධපුර පූජා නගරයේ මංමාවත් කිහිපයක දිවි ගෙවන සියයකට ආසන්න නිවාස අහිමි අසරණ සුනඛයන්ට දිනපතාම නිතිපතා ආහාර සපයන තරුණ වෛද්‍යවරියක් සිටියි. අනුරාධපුරයේම සේවය කරන ඇය පිළිබඳව පූජා නගරයේ ජීවත් වන බොහෝ දෙනකු විශේෂ දැන හැඳුනුමක් ඇත්තේ තම රතු පැහැති නවීන මෝටර් රථයෙන් පැමිණ දිනපතා මෙම ‘දාන පාරමිතාවේ’ යෙදෙන බැවිනි. ඊට අමතරව ඇය පූජා නගරයේ අතරමංව හිඳින සුනඛ පැටවුන් තරමක් ලොකු මහත් වන තුරු හදා වඩා ඔවුන්ට නව හාම්පුතුන් සොයා දීමේ මෙහෙවරක ද යෙදෙයි.


පසුගිය දිනෙක සවස් වරුවේ ඇය අනුරාධපුර මිරිසවැටිය රජ මහා විහාරයට සමීප තැනක මෙලෙස අසරණ සුනඛයන්ට කෑම බෙදමින් සිටියාය. එවිට මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනෙක් ඇය සමීපයේ නතර වූහ.

“මිස්, ඔයිට වැඩිය හොඳ නැද්ද? ඔය සත්තු ටික ඔක්කොම මිස්ලගේ ගෙදර අරගෙන ගිහින් නතර කරගෙනම කන්න දුන්න නම්, එතකොට මිස්ට මෙහෙම පාරවල් ගාණේ නිකන් රස්තියාදු වෙන්න ඕනෙත් නැහැනේ.
ඔවුන් දෙදෙනා ගෙන් අයකු කීයේ උපහාසාත්මක ලෙසිනි.

“ඒක නෙවෙයි, මේ අනුරාධපුරේ අවුරුද්දකට දන්සල් කීයක් විතර දෙනවා ඇද්ද?”
එම තැනැත්තාගේ ප්‍රකාශයෙන් කෝපයට හෝ කලබලයට පත් නොවූ වෛද්‍යවරිය සන්සුන් ලෙස ඇසුවාය. එහෙත් ඔවුන්ගෙන් ඊට පිළිතුරක් නොලැබුණි.

“හොඳයි, අපි හිතමුකෝ දන්සල් සීයක් දෙනවා කියලා” ඒ සඳහා පිළිතුරක් ලෙස දුන් වෛද්‍යවරිය තම දෙවන පැනය ද ඒ දෙදෙනා වෙත යොමු කළාය. ඒ “ඔය එක දන්සලකින් මිනිස්සු කී දෙනෙක් විතර කෑම කනවා ඇද්ද?” යනුවෙනි. එහෙත් ඊට ද මෝටර් සයිකලයෙන් පැමිණි දෙදෙනාගෙන් පිළිතුරක් නොලැබුණි.

“ඒත් අපි හිතමුකෝ ඒ එක දන්සලකින් සිය දෙනෙක් කෑම කනවා කියලා. එතකොට ඔක්කොම දහදාහක්” ඒ සමඟම වෛද්‍යවරිය ඊට ද එලෙස පිළිතුරක් ඉදිරිපත් කළාය. ඉන්පසු මදවේලාවක් නිහඬව සිටි ඇය මෝටර් සයිකලයෙන් පැමිණි දෙදෙනා හමුවේ මෙම පැනය ඉදිරිපත් කරන ලද්දේ ඉතා සන්සුන් හා සුහද ලෙසිනි.

“ඒ දන්සල් වලින් කන මිනිස්සු දහදාහත් තමන්ගේ ගෙවල්වලට එක්ක යන්න කියලා දන්සල් දෙන මිනිස්සුන්ට කිව්වොත් කොහොමට හිටීද?”
ඇගේ එම පිළිතුරත් සමඟ එම මෝටර් සයිකලයෙන් පැමිණි දෙදෙනා තිත්තකසාය බිව් ගොලුවන්සේ කිසිවක් කියාගැනීමට නොහැකිව නිමේෂයකින් අතුරුදන් වූ බව මෙම සිද්ධිය සියැසින් දුටු අයෙක් කීය.

පසුවදන

අපට මෙම පුවත ලැබුණේ අනුරාධපුර මිරිසවැටිය රජ මහා විහාරය හා සම්බන්ධ ආරංචි මාර්ගයකිනි. එහෙත් අප ඒ පිළිබඳව එම වෛද්‍යවරියගෙන් විමසූ විට, ‘අනේ ඕවා මීඩියාවලට එහෙම දාන්න නම් එපා’ කියමින් සිනාසුණාය.

සහන් සංකල්ප සිල්වා

t

o

p