කෘත්‍යාධිකාරී මණ්ඩලයේදි අලියාගෙන් ඉල්ලීමේ වැදගත්කම පෙන්වූ මන්ත්‍රීවරුන්ට සජිත්ගේ පාර්ශවයෙන් තර්ජන

February 20, 2020

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දිය යුතු ලකුණ පිළිබදව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.

ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් ද අලියා ලකුණින් ද යන මත දෙකම ඉදිරිපත් වීම නිසා මෙම උණුසුම්කාරි තත්ත්වය ඇති වූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක් ලංකාදීපයට පැවසීය.

සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ හංසයා ලකුණෙන් වන බවට ඊයේ (18* රැුස්වූ එක්සත් ජාතික පක්ෂ උපදේශක කාරක සභාව තීරණයකට පැමිණි අතර එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ද එකඟතාවයකට පැමිණුනි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි රැුස්වූ අතර එහිදි උපදේශක කාරක සභාවේ තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කෙරිනි.

එම අවස්ථාවේ අදහස් දක්වමින් පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ම සදහන් කර ඇත්තේ පක්ෂයේ අනන්‍යතාවය රැක දෙන අලියා ලකුණින් ඉවත්වීමට තමන්ට හැකියාවක් නැති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පවසා ඇත්තේ පක්ෂ නිර්මාතෘ ඩි.එස් සේනානායක මහතා හදුන්වා දුන් අලියා ලකුණින් ඉවත්ව වෙනත් ලකුණකින් තරඟ කිරීම පිළිබඳව තමන්ගේ කිසිදු මනාපයක් නැති බවයි.

අලියා ලකුණ මේ වන විට ශ‍්‍රී ලාංකික ජන සමාජයේ සමාජගත වී පවතින බවත් ජාත්‍යන්තරය තුළද එනම් ඇමරිකාව, තායිලන්තය වැනි රටවල ප‍්‍රධාන පක්ෂවල ද අලියා ලකුණ භාවිත වන බවත් රුවන් විජයවර්ධන මහතා පෙන්වා දී ඇත.


එමෙන්ම අලියා යනු සමන් දෙවියන්ගේ වාහනය බවත් සිංහල බෞද්ධයන් අලියා ලකුණට ඉතා ලෙංගතුව කටයුතු කරන බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කර තිබේ. ඊට අමතරව හින්දු භක්තිය්නද අලියා ලකුණ මෙන්ම කොළ පැහැය සමග බද්ධ වී සිටින බවද රුවන් වියවර්ධන මහතා වැඩි දුරටත් සදහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කර ඇත්තේ අලියා ලකුණින් බැහැරව මැතිවරණයට ඉදිරිපත් වීමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බවත් නුවරඑළිය දිස්ත‍්‍රික්කයට පමණක් හෝ අලියා ලකුණින් තරග කිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ ඇතුළු මන්ත‍්‍රීවරුන්ද අලියා ලකුණින් තරඟ කළ යුතු බවට පැවසීමත් සමඟ රවී සමරවීර මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් ඊට විරුද්ධව අදහස් පළ කර ඇත. රවි සමරවීර මහතා මෙහිදි දැඩිව පවසා ඇත්තේ හංසයා ලකූණට යම් එකඟතාවයක් ඇතිවී ඇති මොහොතේ එය කඩා කප්පල් නොකරන ලෙයසි.

මෙහිදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සහ රවී සමරවීර මහතා අතර උණුසුම් වාදයක් ඇතිව තිබෙන අතර රවි සමරවීර මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිට යාමටද උත්සහ කර තිබේ.

පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වී වාදය නතර කරමින් රවී සමරවීර මහතා සභාවෙන් රදවා ගෙන ඇත. මැතිවරණයට තවත් ඇත්තේ ඉතා කෙටි කලක් බැවින් මේ ප‍්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට හැකියාවක් නැති බව සදහන් කර තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී හංසයා ලකුණ ලබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය විමසන ලෙස කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ට දැනුම්දී තිබේ.

t

o

p