ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස් වලින් තොරව සිදු කරයි

February 20, 2020

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා ගිවිසුම  අවසන් කිරීම සම්බන්ධයෙන් නිසි උපදේශන හා ක්‍රියාමාර්ග නොගැනීම යනාදී කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී සීමාසහිත ශ්‍රී ලන්කන්  ගුවන් සේවා සමාගම  ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගිවිසුම  අවසන් කිරීම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස ඇමරිකානු   ඩොලර් මිලියන 115.77 ගෙවීමට සිදු වීම සම්බන්ධයෙන් කමිටුව  සිය අප්‍රසාදය පළ කළේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ගුවන් සමාගමට ලැබී තිබු ඇමරිකානු  ඩොලර් මිලියන 375න්  ලංකා ඛණිජ  තෙල් සංස්ථාවේ ණය  පියවීම සඳහා ඩොලර් මිලියන 355.5ක් භාණ්ඩාගාර අනුමැතිය යටතේ භාවිත කොට ඇති බව  කමිටුවේදී අනාවරණය විය. ඒ අනුව,  ඇමරිකානු  එකසත් ජනපද ඩොලර් මිලියන 19.5 ආයතනය සතුව තිබියදී තිබියදී ඩොලර් බිලියන 2.8 වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීර්ණ වුයේ ඇයිද යන්න කමිටුව විසින් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

අධ්‍යක්ෂක මණ්ඩලයේ යම් යම්  වෙනස් වීම් සිදු වුවද, මෙවන් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට බැහැරව කටයුතු කල නොහැකි බව කමිටුව මෙහිදී අවධාරණය කල අතර මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් විගණකාධිපති වරයා හට උපදෙස් ලබා දෙන ලදී.

මෙම රැස්වීම සඳහා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී.පෙරේරා, අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

t

o

p