රාජ්‍ය ආයතන 110 ක් ඉහළ කාර්ය සාධන මට්ටමක් ළගා කර ගනි

February 20, 2020

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට අනුව ඉහළ කාර්‍යසාධන මට්ටමක් ලගාකර ගත් ආයතන 110 අතරින්, රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ.

එවැනි අංශ 10 ක් යටතේ මෙම වැඩසටහන මගින් ඇගයීම සිදුකළ බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

රජයේ අමාත්‍යාංශ යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියෙන් පසුවේ.දිස්ත්‍රීක් ලේකම් කාර්යාල අංශය යටතේ යාපනය ,කුරුණෑගල ,මඩකලපුව යන දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ඉදිරියට පැමිණ තිබේ.සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා කළමණාකරන විගණන දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තු අංශය යටතේ ඉදිරියෙන් පසුවේ.පළාත් සභා අරමුදල් අංශය යටතේ උතුර සහ ඌව යන පළාත් සභා ඉදිරියෙන් පසුවේ.

පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක යන අංශය යටතේ,මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සමාජ සුභසාධන ,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඉහළ ළකුණු ලබාගෙන තිබේ. පළාත් සභා අධිකාරි අංශය යටතේ දකුණූ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවත්, වයඹ පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියත් ඉදිරියෙන් පසුවේ.

මහ නගර සභා අංශය යටතේ හම්බන්තොට,බණ්ඩාරවෙල සහ ගම්පහ යන මහ නගර සභා ඉදිරියෙන් පසුවෙන අතර,නගර සභා අංශය යටතේ බොරලැස්ගමුව,කුලියාපිටිය,මිනුවන්ගොඩ යන නගර සභා ඉදිරියෙන් පසුවේ.ප්‍රාදේශීය සභා අංශය යටතේ රිදීගම,කුලියාපිටිය හා බිංගිරිය යන ප්‍රාදේශීය සභා ඉදිරියට පැමිණ තිබේ.

ඉහළ කාර්‍යසාධන මට්ටමක් ලගාකර ගත් ආයතන සදහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ලබන 28 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවද සභාපතිවරයා පැවසීය.

2018 මුදල් වර්ෂයට අදාළව රාජ්‍ය, පළාත් සභා සහ, පළාත් පාලන ආයතන 844 ක් පරිගණක ජාලගත ක්‍රමය මගින් ලබාදුන් ප්‍රශ්නාවලියක් පදනම් කරගෙන සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙන් ඇගයීමට ලක්කළ බවද හෙතෙම පැවසීය.

තවදුරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආයතනවල ක්‍රමවේද විධිමත් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රවෘත්ති සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසීය.

08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්යසාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

ඉහළ කාර්ය සාධන මට්ටමක් ලඟා කර ගත් ආයතන ඇගයීම සඳහා පෙර පැවැති සම්මාන ප්‍රනානෝත්සව හිටපු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණ.

t

o

p