කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න

February 19, 2020

රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව(COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන  ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අටවැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සැසිවාරය සදහා  පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එතුමා මේබව පැවසීය.මෙම වාර්තාවේ මහජන බැංකුව ,ලංකා විදුලිබල මණ්ඩලය,රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව , මහබැංකුව,සමාජ ආරක්ෂණ අරමුදල ඇතුළු රාජ්‍ය ව්‍යාපාර ආයතන දහයක කරුණු අන්තර්ගත වී තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ කථානායකතුමාගේ මූලිකත්වයෙන් සියලු දෙනාගේ එකගත්වයෙන් කෝප් සහ  කෝපා වැනි කමිටු ජනමාධ්‍යයට විවෘත කිරීම පාරලිමේන්තුව ජනතාව අතර  ඇගයීමට ලක්වු ඉතා සාධනීය පියවරක් වන බවත් ඉන් නොනැවති එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම කමිටු තුළින් අනාවරණය වන කරුණු ඔස්සේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය.

මෙම කමිටුවලට නීතිමය බලතල නොමැති වුවද නීති නිලධාරින්ගේ නිරීක්ෂණ මගින් මෙම කරුණු ඇසින් දුටු සාක්ෂි බවට පත්කර ගැනීමට හැකියාව ඇති බව එතුමා සදහන් කළේය.එබැවින් නීති නිළධාරින් මෙම කාරක සභා නිරීක්ෂණයට කැදවීම තුළින් නෛතික පියවර ගැනීම පහසු වන බවත් මේ පිළිබදව ජාත්‍යන්තර ආදර්ශ ලබා ගත හැකි බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

t

o

p