ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන ලෙස ඉල්ලයි

February 19, 2020

ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන ලෙස අපනයන සංවර්ධන අධිකාරියට නියෝග ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට නියෝග කළේය.

ආර්ථික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුනා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කාරක සභා රැස්වීමේදී මෙම නියෝගය සිදු කළේය.

ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත්, ගම්මිරිස් මිල දිගටම පහත වැටෙන්නේ කෙසේද යන්න රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපනයන සංවර්ධන අධිකාරියට කාරක සභාව නියම කළේය.

මෙම වාර්තාව ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන බව පැවසූ අපනයන සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද, ගම්මිරිස් අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති ඕනෑම සංචාරක කර්මාන්තයක ව්‍යවසායකයින් ගෘහ භාණ්ඩ ආනයනය කිරීමේදී පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමේ නියෝගය ද ආංශික අධීක්ෂණ කමිටුව අනුමත කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමද මෙම වැඩපිළිවෙලේ එක් අරමුණකි.

එසේම, ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවන ආයෝජන සහිත ආයෝජකයින් විසින් සිය ඉදිකිරීම් කාලය තුළ ආනයනය කරන ලද ඕනෑම භාණ්ඩයක් සඳහා වට්ටම් ලබා දීමේ යෝජනාවද මෙහිදී අනුමත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාණ ,පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙයිරත්නසිංගම් යන මහත්වරුද සහභාගී වූහ.

t

o

p