නායකයෝ හොරකම් කරන කොට ගෝලයෝ බය නැතිවම හොරකම් කරනවා

February 19, 2020

කිසියම් දේශපාලන පක්ෂයක හෝ   ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. අපේ රට සංවර්ධනය කරන්නට නොහැකි වී තිබෙන්නේ මෙම මහජන දේපොළ සොරකම් ක්‍රමය මෙතෙක් වෙනස් නොවුනු නිසායි.

ඒ නිසා වත්මන් රජය විදියට අපි මුහුණ දෙන අභියෝගයක් තමයි මෙම මහජන දේපොළ හොරකම් කිරීමේ සම්ප්‍රධාය වෙනස් කිරීම. වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ පිලිවෙත වන්නේ ඇතැමුන් රාජ්‍ය දේපොළ අවභාවිතය නතර කරන එක වගේම මේ හොරකමත් නතර කිරීමයි.

ඡන්දයක් ලග එන කොට අපිට ඇහෙන කතාවක් තමයි  හොරුන්ට , මැරයින්ට, ස්ත්‍රී දූෂකයින්ට , මහජන දේපොළ කොල්ල කාපු අය පාර්ලිමේන්තුවට යවන්න එපා කියන එක. ඒ වුනත් දේශපාලනය විතරක් නොවෙයි, විවිධ රාජ්‍ය ආයතන ගත්තත් ඒ හැම එකකම දකින්නට ලැබෙන දෙයක් තමයි නායකයෝ හැංගි හැංගී හොරකම් කරන කොට ඒ අයගේ ගෝලයෝ එලිපිටම ඒ වැඩේ කරන එක යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට වාළවෙල හා නිහිලුව දහම් පාසැල්වල අධ්‍යාපනය හදාරණ දරුදැරියන්ට පාසැල් උපකරණ පිරිනැමීමේ වැඩ සටහනට එක්වෙමිනි. අමාත්‍යවරයා විසින් සිය මුදල්වලින් හා හිතවතුන්ගෙන් ලබා දෙන ආධාර මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් පාසැල් 200ක දරුවන්ට  පාසැල් උපකරණ කට්ටල පිරිනමනු ලබයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා.

ඉදිරි කාලය තුළ මහ මැතිවරණයක් එනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ ගණනාවක් මෙම මහමැතිවරණයට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය වශයෙන්.

අපේ පක්ෂ එක්වීම සම්බන්ධයෙන් සමහර දේශපාලන පක්ෂ විවිධ විවේචන එල්ල කරනවා. ඒත් මම කියන්නේ මෙම මහමැතිවරණය අපි ඉහළින්ම ජයගන්න නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුලු අනෙකුත් පක්ෂ සියල්ලම එකට එක්ව සන්ධානයක් වශයෙන් ඉදිරිපත්වීමම ජයග්‍රහණයක් බවයි.

සාමාන්‍ය යෙන් අපි කියන්නේ බෙදුනොත්  ශක්තිය අඩු‍වෙනවා. නමුත් එකතු වුනොත් ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකම අනෙකුත් සහෝදර පක්ෂ සමග එක් වී ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය පිහිටුවා ගන්නේ. ඒ නිසා මෙවර මහමැතිවරණයේ දී අපේ සන්ධානයට ඓතිහාසික ජයග්‍රහණයක්  හිමිවන බව කිව යුතුයි යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය රජය සමයේ කෝටි ගණන් වටිනා වාහන මන්ත්‍රීවරුන්ට ගෙන් වූ බවට චෝදනා එල්ල වුනා. මම කියන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම ටික කලකට නතර කරන එක හොඳයි. ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා වසර තුනක් යන තෙක් කිසිදු ඇමැතිවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට වාහන අලුතින් ලබා නොදීමට. ඒක හොඳ තීරණයක්.

එතුමා ජනාධිපතිතුමා විදියට තමන්ට නිල වශයෙන් ලැබෙන නිල නිවාස හෝ නිල වාහන භාවිතා කරන්නේ නැහැ. එතුමා ආදර්ශවත් නායකයෙක් විදිහට ඒ ආදර්ශය දී තිබෙනවා. අන් සියලු දෙනාත් ඒ ආදර්ශය අනුව කටයුතු කළ යුතුයැයි අමාත්‍යවරයා කීය.   

t

o

p