රන්ජන්ගේ හඩ පට යළිත් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

February 18, 2020

රන්ජන් රාමනායක මහතාගේ හඩපට සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද (18) දැනුම් දීමත් සමග ඊට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමට වීම නිසා සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

අදාළ හඩපට සභාගත කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටි අතර ඒවා සභාගත නොකරන ලෙස තවත් මන්ත්‍රී පිරිසක් ඉල්ලා සිටීම නිසා මෙම උණුසුම් තත්ත්වය හටගත්තේය.

රන්ජන් රාමානයක මන්ත්‍රීවරයාගේ සංවාද 19 ක් ඇතුළත් හඬපටයක් ලබාදී ඇති බවත් ඒවා පරික්ෂා කිරීමට මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් තමන් විසින් පත් කළ බවත් ඒ අනුව හඩපටය සභාගත කරන බවත් කථානායකවරයා නිවේදනය කළේය.

ඇමති විමල් වීරවංශ මහතා මෙහිදි විමසා සිටියේ හඩපට සංස්කරණය කළේ දේශපාලන පක්ෂ පාට අනුවදැයි විමසා සිටි අතර පක්ෂ නායකයින්ගේ නියෝජිත මන්ත්‍රීවරුන් හතර දෙනාගේ කණ්ඩායම හඬපට පරික්ෂා කළ බවද කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් කීවේය.

එහිදි රීති ප්‍රශ්නයක් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මෙම හඬපට සභාගත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා – බලතල හා වරප්‍රසාද පනත මගින් කතාකිරීමේ නිදහස ලබාදී තිබෙනවා. ඔය හඬපටවල තියෙන්නේ මන්ත්‍රීවරයෙක් තව කෙනෙකු සමග කළ ඕපාදූප හා කුණු හරුපයි. එවන් කතා ඇති හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ ප්‍රතිපාලන නැහැ. පාර්ලිමේන්තුව තුළ මේ හඬපට බෙදා හැරිම තුලින් කරන්න යන යහපත මොකක්ද

කථානායක – මේක පූර්වාදර්ශයක් කරන්නේ නැහැ. බොහෝ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් වෙනවා. ඒ අයගේ නම් පිරිසිදු කරගත යුතුයැයි ප්‍රකාශ කළා. මෙතන තියෙන්නේ ඕපාදූපවලට වඩා කුණු හරුප.

විජයදාස රාජපක්ෂ – ඇයි මේ කුණු හරුප බෙදා හරින්නේ. පක්ෂ නායකයෝ එකඟවුනේ මෙය නරක පූර්වාදර්ශයක් වෙනවා.

කථානායක – බහුතරය විරුද්ධ නම් මේවා සභාගත නොකර ඉන්නම්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – පක්ෂ නායකවරුන් එකඟවුනේ නැහැ. හඬපට සභාගත කරන්න. හැන්සාඩ් ගතවූ හඩපටවල අන්තර්ගතය තුලින් පාර්ලිමේන්තුවට, සෑම පාර්ශවයකම දේශපාලන නායකයින්ට, ප්‍රජාතන්ත්‍ර ව්‍යුහයට සිදුවන හානිය ගැන තමයි මේ සංස්කරණය කිරිමක් ගැන කතා කළේ. කිසිම පක්ෂ නායකයෙක් එකඟ වුනේ නැහැ. මේ හඩපට සභාගත කරන්න.

කථානායක – ඔබතුමාගේ නියෝජිතයෙකුත් හිටියා. මේක නතර කරලා දාමු.

සභානායක දිනේෂ් ගුණවර්ධන – පරික්ෂණය කරලා අපේ අදහස් කීවා මිසක් සභාගත කරන ලෙස අපි ඉල්ලුවේ නැහැ. මේ සභාගත කිරිම් ඉවත් කරන්න.

කථානායක – හොදයි.

රන්ජන් රාමනායක – තෝරාගත් කිහිපයක් මා සභාගත කළා. හිටපු ජනාධිපති, දැන් ඉන්න අගමැති, කැබිනට් ඇමතිවරු, ඇමති බිරින්දෑවරු මට කතා කර තියෙනවා.

නිමල් ලන්සා – මේවායේ කුණු හරුප තිබුනා නම් කතානායකතුමා ඒ මන්ත්‍රීවරයාට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද

අනුර කුමාර දිසානායක – සියළු හඩපට මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න.

කථානායක – හොදයි මත දෙකක් තියෙනවා.

බිමල් රත්නායක – රන්ජන් මේවා සභාගත කළා. රටේ සමාජ පැතිකඩක් හෙළිවෙනවා. ඒවා සැඟවීම වැරදි පූර්වාදර්ශයක්.

කථානායක – මම යළි පක්ෂ නායකවරු සමග සාකච්ඡා කරන්නම්

රන්ජන් රාමානායක – මම කළේ හොරු අල්ලන්න කියා කීම. මම ඒක හෙටත් කියනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි කිව්වේ ලෙබනන් සේෆ් හවුස් ගිහින් රෙකෝඩ් කරගෙන එන්න කියලා. මා ලඟ සාක්ෂි, රෙකෝඩින් තියෙනවා. මම ඉන්නේ හිඟන්නෙක් වගෙයි. ඉන්න තැනක් නැහැ.

t

o

p