මීතිරිගල රක්ෂිතය වනසා අනවසර පදිංචිකරුවන්ට ඉඩම් දෙති

February 18, 2020

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීතිරිගල රක්ෂිත භූමියේ අනවසර පදිංචිකරුවන් හටම එම ඉඩම්වල හිමිකම ලබාදීමට තීරණය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් 23 දා පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී දොම්පේ ප්‍රාදේශීය සභා සභාපති මිලාන් ජයතිලක මහතා විසින් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුව ප්‍රදේශයේ කඩොලාන රක්ෂිතයක් ගොඩකර ක්‍රීඩාංගනයක් තැනීමට ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් ගත් උත්සාහයකට අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ප්‍රසිද්ධියේම එරෙහි වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අඩුම වනගහනය හිමි ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 1.6 ක වනගහණය ද මෙසේ විනාශ වීමෙන් අපට ජීවත් වීමට ඔක්සිජන් පවා අහිමි විය හැකි බවය. පසුව ඇගේ එම ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලදුව එය ජනාධිපතිවරයාගේ පටන් රටේ බොහෝ දෙනකුගේ පැසසුමට ලක්විය.

එවන් තත්වයක් යටතේ ජෛවමය විවිධත්වය සහ පාරිසරික අතින් විශිෂ්ට අගයක් පළ කරන මීතිරිගල වන රක්ෂිතයෙන් කොටසක් දැනට එහි පදිංචි පිරිසකට නීත්‍යානුකූලව පැවරීමට ගත් තීරණය විස්මය දනවන්නක් බව පරිසරවේදීහු කියති. ඊට හේතුව වන සංරක්ෂන පනත් උල්ලංඝනය කෙරෙමින් හා එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැඩි විරෝධතා නොතකා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම තීරණයට එළැඹීමය.

එහෙත් ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ බවත් එහි දී එම රක්ෂිතය තුළ ඇති ඉඩම්වලින් කොටසක් එහි පදිංචිකරුවන් අතරේ බෙදා දීමට මීට පෙර ද තීරණය වී ඇති බව සනාථ වූ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ උස්ම භූමි භාගයක පිහිටි මීතිරිගල රක්ෂිතය සතු මුළු භූමි ප්‍රමාණය අක්කර 1262 කි. ආරණ්‍ය සේනාසන ඇතුළු මානව ක්‍රියාකාරකම් පවත්වාගෙන යන එම රක්ෂිතයේ මුළු භූමි ප්‍රමාණය මේ වන විට අක්කර 948 ක් දක්වා පහත බැස තිබේ.

මෙවන් තත්වයක් යටතේ එහි තවත් අක්කර 107 ක් එහි අනවසර පදිංචිකරුවන් හට හිමිකර දීමෙන් එහි මුළු භූමි ප්‍රමාණය අක්කර 841 තෙක් පහළ බසිනු ඇත.

එමෙන්ම එම අනවසර පදිංචිකරුවන්ගේ අයිතිය නීත්‍යානුකූලව තහවුරු වීමෙන් පසු එහි වැඩිදියුණු වන මානව ක්‍රියාකාරකම් මත ජල දූෂණය ඇතුළු විවිධ පාරිසර දූෂණ තවත් ඉහළ නැංවී මීතිරිගල රක්ෂිතය තුළ දැනට පවත්නා ජෛවමය හා පාරිසරික අගය මුළුමනින්ම විනාශ වන බව පරිසරවේදීහු පවසති.

එමෙන්ම හුදෙක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත රාජ්‍ය නිලධාරීන් යොදවා සිදු කරන මෙම ප්‍රබල පාරිසරික සංහාරය මුල්කොට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම මැනැවින් නිර්මාණය වී ඇති බව පවසන ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලයේ ප්‍රකාශිකාවක් පවසා සිටියේ මෙම පාරිසරික අපරාධය පිළිබඳ ජනාධිපතිවරයා හෝ වහා ඉදිරිපත්ව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

තිලක් සේනාසිංහ

t

o

p