ගම්පහ දිසාව තෙත් කලාපයෙන් වියළි කලාපයට මාරුවෙයි?

February 18, 2020

භූගෝලීය වශයෙන් පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා මේ දිනවල දැඩි නියං තත්වයක් උද්ගත වී ඇත. මේවනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල සහ දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පානීය ජල අර්බුදයකට පවා මුහුණ පා ඇතැයි  ප්‍රදේශවාසීහු කියති.  

ගම්පහ දිස්ත්‍රික්කය මුල්කොට වසරින් වසර උග්‍රවන මෙම නියං තත්වයට හේතුව ප්‍රමාණවත් වාර්ෂික වර්ෂාපතනයක් නොලැබීම නොව එම දිස්ත්‍රික්කය තුළ දිනෙන් දින උග්‍රවන බරපතල පාරිසරික සංහාර බව පෙන්වා දෙන පරිසරවේදීහු නීතිවිරෝධී වැලි ගොඩදැමීම්, පස්කැපීම් සහ ගොඩ කිරීම් සේම භූගත ජලය මහාපරිමානයෙන් කොල්ලකෑම නිසා භූගත ජල මට්ටම පහළ යාම මෙම නියං තත්වයට හේතුව බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

 ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, දිවුලපිටිය, මීරිගම ආදී ප්‍රදේශවල සිදුවන එවන් බරපතල පරිසර සංහාරයන් මාධ්‍ය මගින් අනාවරණය වුවද එලෙස මාධ්‍ය මගින් හෙළි නොවන තවත් පරිසර සංහාරයන් රැසක් දැනටත් නිරතුරුව එම දිස්ත්‍රික්කය තුළ සිදුවන බව ප්‍රදේශවාසීහු කියති.

එමෙන්ම මුලුමනින් නීති විරෝධී ලෙසින් සහ නීතිමය පදනමක් ව්‍යාජ ලෙස දක්වමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් සිදු කෙරෙන මහා පරිමාන පාරිසරික සංහාර නිසා පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වියළි කලාපීය ලක්ෂණ පහළවීමේ දැඩි අවදානමක් පැන නැගී ඇති බව පරිසරවේදීහු වැඩිදුටත් පෙන්වා දෙති.

එබැවින් මෙයට එරෙහිව පොදුජනතාව අවධියෙන් සිටීමේ වැදගත් කමද පරිසරවේදීහු වැඩිදුරටත් අවධාරණය කරති.

සහන් සංකල්ප සිල්වා

t

o

p