දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් ස්ථීර කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට අමත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

February 11, 2020

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක පදනම මත සේවය කරන සේවකයින් 1488 ක් පමණ ස්ථීර කරන ලෙස ඉල්ලා, රත්මලාන දුම්රිය අංගනයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

එම ස්ථානයට ගිය මගී ප්‍රවාහන කලමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අදාළ සේවකයින් ස්ථීර කිරීම සදහා මේ වනවිටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, හෙට (12) දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දුම්රිය සේවකයින්  ස්ථීර  කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බවත්, උද්ඝෝෂණය සදහා සහභාගී වූ සේවක පිරිසට දැනුම් දුන්නේය.

වසර 6 ක් තිස්සේ ස්ථිරකර නොමැති එම කාර්ය මණ්ඩල, මාස 02 ක් තුළ ස්ථීර කිරීමට අවශ්‍ය  මූලික පියවර තබන ලද්දේ වත්මන් රජය බවත්, විශේෂයෙන් වැඩකරන ජනතාවට සහන ලබාදීම සදහා වත්මන් රජය විසින් කිසිදු පැකිලීමකින් තොරව තීන්දු තීරණ ගන්නා බවත් විෂයබාර අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළකළ සේවකයින්, අතිගරු ජනාධිපතිතුමා සහ විෂයබාර අමාත්‍යතුමා වශයෙන් මහින්ද අමරවීර මහතා කෙරෙහිත් තමන් විශ්වාසය තබන බවත්, ඒ අනුව වසර 6 ක් තිස්සේ අනියම් සහ ආදේශක පදනමෙන් සේවය කරන තම සේවක පිරිස් ස්ථීර  කරන ලෙසත් ඉල්ලා සිටියහ.

මේ වනවිටත් අදාළ සේවකයින් ස්ථීර කිරීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බැවින් උද්ඝෝෂණය අත්හරින ලෙස විෂයබාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමට අනුව, උද්ඝෝෂණය නවතා දැමීමට උද්ඝෝෂණයට සහභාගී වූ  දුම්රිය සේවකයින් පියවර ගෙන ඇත. 

t

o

p