කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැහැ

February 5, 2020

කොරෝනා වෛරස් රෝගයට බිය පත්ව අද අපේ රටේ බොහෝ දෙනෙක් පාරේ ගමන් කරන්නෙත් මුඛවාඩම් දාගෙන. ඒත් තවමත් අපේ රටෙන් එක රෝගියෙක්වත් කොරෝනා වෛරසය හැදුනා කියළා වාර්තා වෙලා නෑ.

එක් රෝගියෙක් වාර්තා වුනත් ඇයත් චින ජාතික කාන්තාවක්. මෙම රෝගයට බියපත්ව අද සමහර විදේශිකයින් විශේෂයෙන් චීන ජාතිකයින් ගමන් කරන බස් රථයකවත් ගමන් කරන්නට බියපත් වෙලා සිටිනවා.

එම තත්ත්වය උද්ගත වුනේ මේ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් සමාජය තුළ ස්ථාපිත වී තිබෙන නිසා යැයි ප්‍රවාහණ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා අගුනකොළ පැලැස්සේ වතුකන්ද විහාරස්ථානයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. දහම් පාසැල් දරුවන් සඳහා හා දහම් පාසැල්වලට පාසැල් උපකරණ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අපේ රටේ මේ වනවිට චීන ජාතිකයින් ලක්ෂ 06ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙනවා. සමහරු හිතන්නේ චීන ජාතිකයින් සියලු දෙනාටම මේ රෝගය බෝ වෙලා කියළයි. මං දන්න විදියට චීනයේ ජනගහනය කෝටි 160ක් විතර.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඉන්නේ චීනයේ. ඒ අතරින් දැනට තුන් හාරදහකට තමයි මේ රෝගය වැලඳිලා ඉන්නේ. මේ රෝගය වාර්තා වූ වූහාන් නගරයේ කෝටි පහක විතර ජනගහනයක් ඉන්නවා. ඒ සියලු දෙනා වූහාන්වල සිටි පලියට ඒ රෝගයට ගොදුරු වෙලා නෑ.

අනික අපේ රටේ ගුවන් තොටුපොළවල් තියෙන්නේ දෙකයි. වරායවල් තිබෙන්නේ එකයි. එම අංශ දෙක මේ වනවිට රෝග වැලැක්වීමේ ආවේක්ෂණ වැඩ පිළිවෙළ හොඳින් ශක්තිමත්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

රෝගියෙකුට එම අංශ දෙකෙන් රට ඇතුළට හොරෙන් ඇතුල් වෙන්න බැහැ. අනිත් එක මහජනතාව විසින් කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම. එහෙම නැතුව චීන ජාතිකයෙක් දුටු පමණින් පැන දිවීම නොවේ.

අනික් කාරණය නම් කොරෝනා වෛරසයට වඩා දරුනු රෝග තත්ත්ව තිබෙනවා. අපේ රටේ ඒඩ්ස් රෝගින් ඉන්නවා. ඩෙංගු කියන්නෙත් වෛරස් රෝගයක්. පසුගිය වසරේ රෝගීන් 95000ක් විතර වාර්තා වෙලා තියෙනවා. කොරෝනාවලින් බේරෙන්න දරණ උත්සාහය ඩෙංගුවලින් බේරෙන්නත් තිබිය යුතුයි.

මම පසුගිය දවසක මාතර – හම්බන්තොට අධිවේග මාර්ගය ඉදි කිරීම් බලන්න ගියා. එම කටයුතු සති දෙකකට නවත්තලා තියෙනවා මේ කොරෝනා වෛරස් උණ නිසා. අපේ රටේ අහළකින්වත් නැති රෝගයක් නිසා සංවර්ධන ව්‍යාපෘති නතර කළ යුතු නැහැ. අපේ ගම්වල කතාවක් තියෙනවා. ඇදහැලෙන වැස්සෙන්වත්, හමන හුළගින්වත්, වැටෙන අව්වෙන්වත් කාටවත් බේරෙන්න බැහැ කියළා. ඒ වගේම තමයි මේ රෝගත්.

අපේ රටත් ගෝලීයකරණයට අහුවෙච්ච රටක්. ඒ හින්දා ලෝකය පුරා යන හැම තත්ත්වයක්ම අපේ රටටත් බලපානවා. නමුත් අපි විසින් කළ යුත්තේ එවැනි රෝග වළක්වා ගැනීමට විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කිරීමයි. චීනයේ කොරෝනා තිබුනාට මෙහේ ඉන්න චීන ජාතිකයින්ටත් ඒ රෝගය තියෙනවා කියළා කොන් කිරීම උචිත නැති බව මම විශ්වාස කරනවා.

ඒ නිසා අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටම ක්‍රියාත්මක කළ යුතුයි. මොකද, මෙම සංවර්ධන ව්‍යාපෘති සති දෙකක් නොවෙයි දවසක් ප්‍රමාද වුනත් අපිට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නිසා කොරෝනා වෛරසයට බියේ සංවර්ධන ව්‍යාපෘති කල් දැමීම සුදුසු නැති බව මම ප්‍රකාශ කරනවා.යි ද අමාත්‍යවරයා කීය.

t

o

p