බස් රථ හා දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්න

February 2, 2020

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තවමත් අපේ රටේ බිය විය යුතු තත්ත්වයක් උදා වී නොමැති නමුත් මෙම රෝගය නොසළකා සිටීමට නොහැකි රෝගයක් බැවින් එම රෝගය වළක්වා ගැනීම  සම්බන්ධව සෑම අංශයකම අවධානය යොමු විය යුතුව ඇතැයි ප්‍රවාහණ සේවා කළමණාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා හම්බන්තොට මුස්ලිම් මහ පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි විය. එහිදී මුස්ලිම් දහම් පාසැල් දරුවන්ට අධ්‍යාපන  උපකරණ පිරිනැමීමේ වැඩ සටහනක් පැවැති අතර එහිදී මේ බව සඳහන් කළේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අපේ රට තුළ සෑම අංශයකින්ම හොඳ දැනුම්වත් කිරීමක් ආරම්භ කර තිබේ. එම රෝගය වළක්වා ගත යුතු රෝගයක් වන්නේ ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන රෝගයක් වන නිසාය. එමෙන්ම එමගින් ඇති විය හැකි මූලික  සංකූලතා සාමාන්‍ය වෛරස් උණ රෝගයක ලක්ෂණම වන හෙයින් මහජනතාව එවැනි තත්ත්වයක දී නොසළකා සිටීම රෝගය පැතිරීමට හේතු විය හැකිය.

එමනිසා මගීන් වැඩි පුර ගැවසෙන දුම්රිය හා බස් රිය ආශ්‍රිත ව ගමන් ගන්නා මගී ජනතාව අතර  කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව විශේෂ වැඩ පිළිවෙළක් අරඹන්නැයි අමාත්‍යවරයා දුම්රිය හා බස් රථ බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ලබන සතියේ අදාල බලධාරින් ප්‍රවාහණ අමාත්‍යාංශයට කැඳවා බස් රථ වල හා දුම්රියවල දිනපතා විශාල තදබදයක් සහිතව මගී ජනතාව ගමන් කරන බැවින් එම ජනතාව මෙම වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීමේ විශේෂ වැඩ පිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට ඊයේ උපදෙස් දුන්නේය.

විශේෂයෙන් දුම්රියෙන් හෝ බස් රථවලින් ගමන් කරන කිසියම් මගියෙක් තමන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඔහු කිවිසුම් හරින විට ඉවතට විසි වන බිඳිති තුළින් ඔහු පෙළෙන කුමන වෛරස් රෝග තත්ත්වයක් වුවද ව්‍යාප්ත විය හැකි බැවින් එම තත්ත්වය අවබෝධ කරගෙන රෝගය වළක්වා ගැනීමට  කටයුතු කිරීම තුළින් කොරෝනා වෛරසය පවා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකිය.

දැනට අපේ රටේ  කිසිදු අයෙකුට මෙතෙක්  කොරෝනා   වෛරසය වැළඳි ඇතැයි වාර්තා වී නැති නමුත් අවධානමට පෙර සූදානම වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p