දුරකථන බදු සහන පිලිබදව තොරතුරු ඉල්ලීමට සේවා සපයන සමාගම් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ

January 30, 2020

රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය දුරකථන සහ අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගිය අතර ඒ සම්බන්ධයෙන් අප සංවිධානය 06/12/2019 දින ශ්‍රී ලංකාවට දුරකථන හා අන්තර්ජාල සේවා සපයන සමාගම් හයකින් සිදුවූ බදු අඩුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලිඛිතව ඉල්ලා සිටි අතර එම වාර්තාව අදවන විටත් අප සංවිධානයට එම සේවා සපයන සමාගම් හය මගින් ලබාදීමට අපොහොසත් වී ඇත.

අද (30) පුවත්පත් කිහිපයක “දුරකථන බදු සහන ජනතාවට වහාම දෙන්න සමාගම් වලට විදුලි සංදේශයෙන් නියෝග” යනුවෙන් පුවතක් සදහන් වන අතර එමගින් පෙනී යන්නේ දුරකථන බදු සහන තවමත් නිවැරදි ආකාරයෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බවය.

තවද අයකරගන්නා බදු ප්‍රතිශතයන් සහ බදු සහන ලබාදීමට කටයුතු කල කාල සීමාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සැපයීමට අපොහොසත්වීම තුල දුරකථන සමාගම් බදු සහන නිසි ලෙස පාරිභෝගිකයාට ලබාදෙනවාද යන්නෙන් සැකයක් පැනනැගේ.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා බදු සහන කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටිමු.  

t

o

p