කොට්ටාව ගැලනිගම පිවිසුම අතර “දක්ෂිණ අධිවේගයට” සුනඛයෝ!

January 30, 2020


දක්ෂිණ අධිවෙිගී මාර්ගයේ කොට්ටාව ගැලනිගම පිවිසුම අතර කොටසට සුනඛාදී සතුන් පිවිසීමේ වැඩිවීමක් දක්නට ඇතැයි නිරතුරුවම එම මාර්ගය භාවිතා කරන පිරිස් පවසති.
එලෙස දිනපතා එම මාර්ගයේ කාර්යාල ප්‍රවාහන සේවා භාවිතා කරන පිරිස් පවසා හිඳිනුයේ එසේ අධිවේගී මාර්ගයට පිවිසුන සතුන් රිය අනතුරු වලට ලක්වී මරණයට පත්වන අයුරු තමන්ට දැකගත හැකිවූ බවයි.

අධිවේගී මාර්ගය හරහා තනා ඇති බෝක්කු සහ වතුර බැසීමේ කානු අසුරා ඇති ආරක්ෂක දැල් ඉවත්වීම හේතුවෙන් මෙලෙස සතුන් අධිවේගී මාර්ගයට පිවිසෙන බව පෙන්වාදෙන ඔවුන් පවසනුයේ මෙමගින් එම මාර්ගයේ බිහිසුණු රිය අනතුරු සිදුවීමේ පැහැදිලි අවදානමක් පැන නැගී ඇති බවයි.එමෙන්ම මෙම මාර්ගය දෙපස නිවෙස් වල පදිංචි දරුවන් මෙම දැල් වැට මත වාඩි වීම නිසා ඇතැම් ස්ථාන වලදී එයට හානි පැමිණ ඇති බවද මොවුහු පෙන්වා දෙති.


මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි ලැබී නොමැති මුත් එම අධිකාරියේ තාක්ෂණ නිලධාරීන් යොදවා ඉදිරියේදී ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බවයි.

ඉරංගි උදයංගනී

t

o

p