අක්කර 700ක රජයේ ඉඩම් අධ්‍යාපනය විකිණීමේ සමාගම්වලට වෙන් කරන ආණ්ඩුව සැලැස්ම පරාජය කරමු

January 19, 2020

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ නව සැලසුම් ලෙස ‘නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප’ පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු පළ කළ අදහස් ඇසුරින් පහත සටහන සකස් විය.

“ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ දීර්ඝ කාලීන උත්සාහය අනුගමනය කරමින් අධ්‍යාපනය විකිණීමේ නව  වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් සැලසුම් කරමින් තිබෙනවා. මේ යටතේ නිදහස් අධ්‍යාපන කලාප නම්කරමින් ඒ තුළ අධ්‍යාපනය විකිණීමේ ආයතන ස්ථාපිත කිරීම ටෙම් යටතේ සිදුකිරීමට ආණ්ඩුව විසින් සැලසුම් කරමින් තිබෙනවා.

මේ සම්බන්ධව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන විසින් 2019 දෙසැම්බර් 24 ඉදිරිපත් කළ කැබිනට් සංදේශ තුනකින් තොරතුරු අනාවරණය වෙනවා. 2019/30 කැබිනට් සංදේශය තුළින් ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලිකකරණය කිරීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන කලාපයක් ඇතිකිරීමට යෝජනා කරනවා.

1978 විවෘත ආර්ථිකය නමින් හඳුන්වාදුන් වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ප්‍රතිසංස්කරණවලදි නිදහස් වෙළඳ කලාප පිහිටුවනු ලැබූ බව අපි දන්නවා. කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් රටපුරා ක්‍රියාත්මක වූ කම්කරු නීතිවලින් නිදහස් කළ විශේෂ ආර්ථික කලාප, ආයෝජන ප්‍රවර්ධන කලාප ලෙස කටුනායක, බියගම, කොග්ගල වැනි ස්ථාන ගණනාවක ආරම්භ කළා.

ඒවා තුළ කිසිදු කම්කරු අයිතිවාසිකමක් සුරක්ෂිත නැති බරපතළ ශ්‍රම සූරාකෑමක්හා අමානුෂික සේවා කොන්දේසි පවතිද්දි රටේ නීතියට අනුව ඒ කම්කරුවන්ට කිසිදු ආරක්ෂාවක් හිමි වුනේ නෑ. අවම වශයෙන් වෘත්තිය සමිතියක සාමාජිකත්වය ගන්න, සාමුහිකව කේවල් කිරීමේ අයිතිය හිමිවුණේ නෑ.

මේ ආණ්ඩුව විසින් නිදහස් අධ්‍යාපන කලාප ඇතිකරමින් ජේ.ආර්. කළ දේ දෙවැනි පියවර ලෙස අධ්‍යාපනය විකිණීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. අධ්‍යාපනය සඳහා ආයෝජන ගෙන්වාගෙන අධ්‍යාපනය වෙළඳපොළකරණය කිරීමේ අරමුන ඇතිව ආණ්ඩුව කටයුතු කරනවා.

‘නැගී එන දකුණු හා ආසියාවේ ආර්ථිකයන් ඉලක්ක කරගත් නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපයක් මෙරට ස්ථාපනය කිරීම” කියන මාතෘකාවෙන් මේ කැබිනට් සංදේශයේම සඳහන්වන ආකාරයට, හොරණ මිල්ලෑව ප්‍රදේශයේ තියෙන අක්කර 700ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් මේ සඳහා වෙන්කරනු ලබනවා.

කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙන්නේ අධ්‍යාපන ආයෝජන කලාපයක් සලදහා වෙන් කරන්න, අධ්‍යාපනය සම්බන්ධ රටේ පවතින නීතියෙන් පරිබාහිරව ඒ කලාපය පවත්වාගෙන යන්න සහ ඒ කලාපයට අවශ්‍ය යටිතල පහසුකම් සැපිරීමට ප්‍රතිපාදන වෙන්කරන්නයි. මහාමාර්ග, පොදු ප්‍රවාහන, විදුලිබල, ජල සම්පාදන, අන්තර්ජාල, ක්‍රීඩා, නාගරික අවශ්‍යතා යන පහසුකම් සපයන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරන්න අවසර ඉල්ලා තිබෙනවා.

රජයෙන් ඉඩමකුත් දීලා ජනතාවගේ බදු මුදලින් මේ පහසුකම් සපුරලා විදේශ සමාගම්වලට ආයෝජන ඇතිකරලා මේ රටේ අධ්‍යාපනය විකිණීමේ කලාපයක් ඇති කරන්නයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ අනුමැතිය ඉල්ලා තිබෙන්නෙ. ඒ විතරකුත් නෙවෙයි, මේ කලාපයේ අධ්‍යාපන කඩ දාන සමාගම්වලට විශේෂ බදු සහන පැකේජයක් දෙන්නත් මේ යෝජනාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

අධ්‍යාපන කඩවල මුදලාලිලාගෙන්, ඒ සමාගම්වලින් බදු අයකරන්නවත් ආණ්ඩුවට බෑ. ජනතාවගේ පරිප්පු පන්සීයෙන්, සීනි දෙසිය පනහෙන් බදු අරගෙන සමාගම්වල ලාභය වෙනුවෙන් යටිතල පහසුකම් හදලා දීලා ඒ සමාගම් අධ්‍යාපනය විකුණනකොට බදු ගන්නෙ නැතිව සහන දෙන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නෙ. අපේ උඵතේ සිට මරණය දක්වාම සාමාන්‍ය ජීවිතයේ හැම අවස්ථාවකදිම බදු ගහන ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්නත් අවසර දීලා ඒ කඩ බදුවලින් නිදහස් කරන්න සූදානම් වෙනවා.

මෙහි සඳහන්වෙන ආකාරයට ජූනි මාසෙදි එවැනි අධ්‍යාපන කඩ හිමියන් සමාගම් 40ක් පමණ ලංකාවට ගෙන්වන සිම්පෝසියම් එකක් පවත්වන්න, ආණ්ඩුව සූදානම් වෙනවා. මෙතෙක් උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික ව්‍යාපාරවලට අවස්ථාව දෙන්නෙ නැති ජනතා අරගල, ශීෂ්‍ය අරගල නිසා ලංකාවේ අධ්‍යාපනය විකිණීමේ අරමුණින් ආරම්භ කළ මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් පරාජයට පත්කර තිබෙනවා.

1981 උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ සිට මෑත සයිටම් හොර උඵාධි කඩය අහෝසි කිරීමේ අරගලය දක්වා විශාල සටන් ඉතිහාසයක් කැපවීමක් කරලා අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ උත්සාහයන් පරාජය කර තිබෙන පසුබිමක මේ ආණ්ඩුව අධ්‍යාපන කඩ කලාපයක් පිහිටුවන්න සූදානම් වෙනවා.

මේ අය විපක්ෂයේ ඉඳිද්දි පහුගිය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමට ගෙන ගිය වැඩපිළිවෙළ විවේදනය කළා. අගමැති මහින්ද ඒ කාලෙ විශේෂ ප්‍රකාශයක් කළා කිසිසේත්ම තමන් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන්නෙ නෑ කියලා. නමුත් දැන් බලයට ආවම පළවෙනි මාස දෙක යනකොට අධ්‍යාපන පෞද්ගලිකකරණයට හා ඒ සඳහා නීතියට පිටින් අධ්‍යාපනය විකුණන කලාපයක් හදන්න යෝජනා කරනවා. ඒ වගේම වරලත් විශ්වවිද්‍යාල ලෙස ලාභ අපේක්ෂාවෙන් පිහිටුවන අධ්‍යාපන කඩ පිහිටුවන්නට මේ 2019/28 කැබිනට් සංදේශයෙන් අවසරය ඉල්ලා සිටිනවා.

ඒ කියන්නෙ අධ්‍යාපනය විකුණන මුදලාලිලාට නිදහස් කලාපයක් පිහිටුවන අතරේ රජයේ මුදල්, ජනතාවගෙ බදු මුදලින් අධ්‍යාපනය විකුණන ආයතන බිහි කරන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ ආකාරයෙන් අධ්‍යාපනය විකුණන ආයතන 5ක් නම්කර තිබෙනවා. ඒ තමයි හරිත සරසවිය- හෝමාගම, වෘත්තිය තාක්ෂන විශ්වවිද්‍යාලය- රත්මලාන, ශ්‍රි ලංකා තාක්ෂනික විශ්වවිද්‍යාලය- මීපේ, නාගානන්ද බෞද්ධ උසස් අධ්‍යාපන ආයතනය- කැළනිය සහ දළදා මාළිගයේ අරමුදලින් හැදුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය- පල්ලෙෙකැලේ කියන ආයතන.

මේ ආයතන 4ක් ජනතාවගේ බදු මුදලින් හැදුව ආයතන. දළදා මාළිගාවෙන් හැදුව ආයතනයත් ජනතාවගේන් එකතු කරපු කැට සල්ලිවලින් ගොඩනැගුව ආයතනයක්. බෞද්ධයන් ආගමික භක්තියට දළදා මාලිගාවෙ කැටයට සල්ලි දාන්නෙ අධ්‍යාපනය විකුණන ආයතන හදන්න නෙවෙයි. මේවට විශ්ව විද්‍යාල තත්වය ලබා දීළා නෑ. මේ කබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරන්නෙ ඒවා විශ්ව විද්‍යාල ලෙස පිළිගත යුතු බවයි. ඒ කියන විදියට ජනතාවගේ බදුමුදලින්, මුදල් අයකරන අධ්‍යාපන ආයතනවලට පිළිගැනීම ලබාදෙන්න සූදානම් වෙනවා.

මේ පසුබිම තුළ මෙතෙක් යම් හෝ මට්ටමකින් නිදහස් අධ්‍යාපන අවස්ථා ආරක්ෂා කරමින් ජනතාවගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කළ ආකාරයට මේ ආණ්ඩුව ගෙන එමින් තිබෙන අධ්‍යාපනය විකිණීමේ සැලැස්ම පරාජය කිරිමට පෙරට එන ලෙස සියලු ප්‍රගතිශීලී බලවේගවලට, වැඩකරන ජනතා සංවිදානවලට, වාමාංශිකයන්ට, ශිෂ්‍ය ව්‍යාපාරයට හා ජනතාවට ආයාචනය කරනවා.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් එ සඳහා ඕනෑම ආකාරයකින් කැපකිරීම් කරමින් ලෝකයේම පිළිගත් මානව හිමිකමක් ලෙස නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීමටත් උසස් අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරිමට බහුජනතාව සමග කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කරනවා.”

t

o

p