රංජන්ගේ හඩපට තුලින් බිදවැටුණු අධිකරණ තීන්දු පිලිබද ජනතාවගේ විශ්වාසය යළි ගොඩ නැගීම පහසු කාර්යයක් නොවේ

January 14, 2020

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කර  ඇති ආකාරය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට තුලින් හෙලිවෙමින් තිබෙන බවත්, මේ හේතුවෙන් අධිකරණයේ තීන්දු පිලිබදව බිද වැටී ඇති ජනතා විශ්වාසය යලි ගොඩනැගීම පහසු කාර්යයක් නොවන බවත්   ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.   

රත්නපුර පැවති  ප්‍රාදේශීය බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින් , රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මේ බව සදහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා

අපේ රටේ පාලනයේ අංශ තුනක් තිබෙනවා.  ඒ තමයි ව්‍යවස්ථාදායකය, විධායකය, සහ අධිකරණය.  අධිකරණය කියන්නේ සියළු දෙනාට සාධාරණව යුක්තිය පසිදලන ආයතනය. නමුත් පසුගිය එජාප රජය කාලයේ  අධිකරණය ක්‍රියාත්මක  වුනේ කොහොමද කියන කාරණය දැන් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට වලින් එළියට එමින් තිබෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා පටිගත කළ මෙවැනි හඩ පට තව ගණනාවක් තිබෙනවා. තවම කවුරුත් දන්නේ නැහැ මේ හඩපට වල මොනතරම් කුමන්ත්‍රණ තියනවද කියලා.

පාලකයන්ට උවමනා වුණානම්  කෙනෙක් රිමාන්ඩ් කරන්න. විනිශ්චයකාරවරයාට කථා කරලා කෙලින්ම බලපෑම්  කළ බව දැන් පැහැදිළි වනවා. මම අධිකරණ අමාත්‍යවරයාව සිටි කාලයේ මගේ ලේකම් වරයෙකු ලෙස කටයුතු කළ  හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඔහු දවසක්  මට කිව්වා “ සර් වැඩේ යන විදිහනම් හොද නැහැ“ කියලා.

පසුගිය යහපාලන රජය කාලයේ අත්අඩංගුවට ගන්නේ කවුද? ගන්නේ කෙහොමද? මේ සියල්ල තීරණය කළේ අරලිය ගහමන්දිරයේ ඉදලා  රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, චම්පික රණවක, චන්ද්‍රිකා කුමාරතුංග, අනුර කුමාර දිසානායක  සහ  රන්ජන් රාමනායක යන පිරිස. 

අද අපේ රටේ පාලනයේ වගේම සියළු අංශවල වෙනසක් දකින්න ලැබෙනවා.  ඒ වත්මන් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිලිවෙලත් සමගයි. ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගත ජනාධිපති වෙන බව මම ප්‍රකාශ කලේ 2016 ඇඹිලිපිටියේ පැවති රැස්වීමකදී.  ඒ වෙනකොට අපි සියළු දෙනාම සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම පක්ෂයක් තිබුණේ නැහැ. එහිදී  මම යෝජනා කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිදහස් පක්ෂයේ දෙවන පෙල නායකයෙකු ලෙස පත්කර ගනිමු කියලා.

ඒකට බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ගෝඨාභය දේශපාලනයට එන කෙනෙක් නෙවෙයි කිව්වා. මට මඩ ගැහුවා. මම මේ යෝජනාව ගෝඨාභය රාජපක්ෂ මහතාට කියන කොට එතුමා කිවුවා එහෙම දෙයක් හිතලවත් නැහැ කියලා. නමුත් අද රටේම වෙනසක් ඇතිකරමින් මම එදා කියපු කාරණය සත්‍ය වෙලා තිබෙනවා. 

මේ ජයග්‍රහණයේ සැබෑ වටිනාකම, ප්‍රතිලාභය ජනතාවට ලැබෙන්නේ එළඹෙන මැතිවරණේදි තුනෙන් දෙකේ බහුතර බලයකින් අපේම ආණ්ඩුවක් හදලා ජනාධිපති ගෝඨාභය මහතාට එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් බලයක් ලබා දීමෙන් පමණක් බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.

සබරගමුව පලාත් සභාවේ හටපු මන්ත්‍රී ප්‍රභාත් අල්විස් මහතා ඇතුළු රත්නපුර ප්‍රාදේශීය සභාවේ සහ  නගර සභාවේ  මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

t

o

p