දුරකථන සංවාද හඬපට අන්දෝලනය තුළින් පිළිඹිබු වන්නේ රටේ සදාචාර පරිහානියයි

January 14, 2020

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත්  නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම නිසා සමාජය විකෘති ස්වාභාවයක් කරා ගමන් කිරිම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා පැවසීය.

කථානායක කරු ජයසුරිය මහතා මෙම අදහස් පළ කළේ  නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පුජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරිම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජ මහා විහාරස්ථානයේදී පැවති පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිතා ලෙස සහභාගී වීමෙනි.

ජංගම දුරකථනය මෙන්ම නුතන සන්නිවේදන මාධ්‍ය බොහෝමයක් විසින් පවුල් සබඳතා , දෙමාපිය – දූදරු සබඳතා බිඳ දමා ඇති බවත් ජංගම දුරකථනය බිහි කළ රටවලට වඩා එම තාක්ෂණය ආනයනය කර භාවිතයට ගත් අප වැනි රටවල් එතුළින් අධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කර ඇති බවද කරු ජයසුරිය මහතා සඳහන් කළේය.

දුරකථන සංවාද ඇතුළු සමාජගත නොවිය යුතු පෞද්ගලික තොරතුරු රසමසවුළු සේ තලු මරමින් සමාජගත කළ හැකි නමුත් කලක් යන විට මෙම සිදුවීම් දෙස ආපසු හැරී බලන කළ අප යුගයේ සිදු වු සදාචාර පරිහානිය ගැන විශාල පසුතැවීමක් ඇති වනු ඇතැ’යි ද හෙතෙම පැවසීය.කෙසේ වෙතත් හෙළිදරව් වී ඇති නීති විරෝධී යමක් වේ නම් ඊට ‍එරෙහිව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාවය බැහැර කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.  

අනාගත පරපුර වෙනුවෙන් මෙම තත්වයෙන් රට මුදා ගැනීමට සියළු වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවද එහිදී මහා සංඝරත්නයේ, ගමේ පන්සලේ මඟ පෙන්වීම අත්‍යාවශ්‍ය වනු ඇති බවද පැවසු කථානායකවරයා සඳහන් කළේ ලෝකයේ ථේරවාදී බුදු දහම පවතින ප්‍රධානතම මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකාවෙන් ලෝකයට ලබාදිය යුත්තේ ධර්ම දානය බවයි.

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ මඟ පෙන්වීම ලද මිල්ලෑවේ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ස්වකීය ආගමික සේවා‍ව සඳහා හැමවිටම අනලස්ව දුෂ්කර මාර්ග තෝරාගත් බවද සඳහන් කළ කරු ජයසුරිය මහතා ගමත් පන්සලත් අතර ඇති වු දුරස්ථභාවය පිළිබඳව මෙලෙස අදහස් පල කළේය.

“අද නගරයේ විශාල විහාරස්ථාන වල ජනතාව තුළ තිබෙන බැදීමට වඩා විශාල ගෞරවනීය බැදීමක් මේ ගම් වල ජනතාව පන්සලත් සමග තියෙනවා. පන්සලත් ගමත් අතර තිබෙන බැදීම ශ්‍රී ලංකීය සංසකෘතියේ අපරිහානීය ලක්ෂණයයි.

ගමින් පන්සලට, එහි වැඩ වසන භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන සිද්ධ වෙනවා. මුළු ගමම හතර පේරුවේ දායක දායිකාවන් ලෙස පන්සලට ආවා. නැඹුලේ වත්තේ ගහක හැදෙන ගෙඩිය ගෙනත් පන්සලට පූජා කළා. දරුවන් ලොකු මහත් වුනේ ගමේ පන්සලේ දහම් පාසලේ ඇසුර ලබමින්.

පන්සලෙන් ගමට ලැබුනේ මොනවාද? ආගමික ශික්ෂණය විතරක් නෙමේ. සමස්ථ සංස්කෘතිය ජාතික චින්තනය පෝෂණය කරන මධ්‍යස්ථානය බවට පන්සල පත්වුණා. අධ්‍යාපන මධ්‍යස්ථානය වුනේ පන්සල. සිංහල වෙදකම, නක්ෂත්‍රය, සිංහල භාෂාව, කවිය පෝෂණය කළේ පන්සලයි. පන්සල මැදිහත් වෙලා ගමේ විනය හැදුවා. ජාතික සටනට පණ පෙව්වේ පන්සලයි. පස්සේ කාලයේ වාණිජකරණය වූ නාගරීකරණය වූ සමාජයේ පන්සලෙන් ගම ඈත් වුනා.

දහම් පාසලෙන් ඈත් වූ දරුවෝ ටියුෂන් පන්තියට සමීප වුනා. ඒ සමගම සමාජයේ සාරධර්ම පිරිහුණා. අධ්‍යාපනයේ තරඟයක් පවතිනවා. එයට මුහුණ දීමට අවශ්‍යයි.එම තරඟය ජය ගැනීමෙන් පමණක් සම්පූර්ණ මිනිසෙක් බිහි වන්නේ නැහැ.  ආගම දහමින් තමයි විනයක් සහිත දරා ගැනීමේ ශක්තියක් තියෙන ඉවසීම, කෘතවේදීත්වය, පරාර්ථකාමිත්වය තිබෙන මිනිසුන් බිහි කරන්නේ. එය තමයි සමබර පෞරුෂය. පන්සලෙන් දහම් පාසලෙන් ඈත් වුණාම බිහි වෙන්නේ ඒ සමබර පෞරුෂය නැති මිනිසුන් සහ ගැහැණුන්. එම අසමබරතාවය මුළු සමාජය ම අවුල් කරන බව අද අපට පැහැදිලි වෙලා තිබෙනවා.” 

මිල්ලෑවේ සුමනතිස්ස නායක හිමියන් යුධ සමයේදී හමුදා කඳවුරු වෙතට වැඩම කරමින් ඉටුකරන ලද ‍ශ්‍රේෂ්ඨ උතුම් සේවාව උන් වහන්සේගේ දිවි ගමනේ සුවිශේෂි සටහනක් බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

මුලසුනේ දේශනය පවත්වමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති මැදගම්පිටියේ විජිතවංශ නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ  “තමන් මහන්සියෙන් උපයා ගත් දේ සිව්පසය ලෙසින් භික්ෂුන් වහන්සේට දන්‍ දෙන දායක දායිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට ධර්මාලෝකය ලබාදීම භික්ෂුන් වහන්සේගේ වගකීමක් බවයි. පාවහන් යුගලයක්වත් නොමැතිව දුෂ්කර ගම්දනව්වල සිරිසරමින් ගැබිණි මව්වරුන්ට, ගිලන් වු දායකයන්ට රට රකින රණවිරුවන්ට දහම් ආශිර්වාදය ලබාදුන් මිල්ලෑවේ සුමනතිස්ස නා හිමියන් පරමාදර්ශි භික්ෂු චරිතයක් බව උන් වහන්සේ පැවසීය.

62 බලසේනාංකාධිපති මේජර් ජෙනරාල් ධමිමික ජයසිංහ මහතා ඇතුළු හමුදා නිලධාරින් රැසක් මෙන්ම දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.  

t

o

p