ජන සංහාරක යුද්ධයට එරෙහිව වැඩකරන ජනතාව ප්‍රමුඛ ප්‍රගතිශීලීන්ගේ අධිරාජ්‍යවිරෝධී බලයක් ගොඩ නගමු!

January 13, 2020

2020 ජනවාරි 03වැනිදා අලුයම අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කාසෙම් සුලෙයිමානී මරා දැමීමත්, ජනවාරි 08 අළුයම ඉරානය විසින් ඉරාකයේ ඉරාකයේ එර්බිල් සහ අල් අසාද්හි පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරු දෙකකට එරෙහිව මිසයිල් ප්‍රහාර එල්ල කිරීමත් සමග පර්සියානු ගල්ෆ් කලාපයේ යුදමය ආතතියක් උද්ගතව ඇත. රුසියාව සහ යුරෝපා රටවල් ඇතුළු ලෝක බලවතුන් මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශවලින් පෙනී යන්නේ එවැනි යුද්ධයකට රටවල් ගණනාවක් සම්බන්ධ වී ලෝකයම වෙලාගත් විනාශකාරී යුද්ධයක් බවට එය වර්ධනය වීමේ අවදානමක් ඇති බවය.


සිය ප්‍රාග්ධන අභිලාෂයන් උදෙසා නව ගොදුරුබිම් සහ වෙළඳපොළ සොයමින්ද, සිය යුද – දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් උපායමාර්ගිකව වැදගත් ප්‍රදේශ අත්පත්කර ගනිමින්ද ලොව පුරා සැරිසරන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට මැදපෙරදිග කලාපය පත්ව ඇත.

ඒ බව ඉරාකයට, සිරියාවට එල්ල කළ ප්‍රහාර සහ ඊජිප්තුව, ලිබියාව, පලස්තීනය වැනි රටවලට කළ මැදිහත්වීම් බලගතු උදාහරණ සපයා ඇත. මේ මොහොතේ ඉරානයට එරෙහිව කරනු ලබන තර්ජන සහ ප්‍රහාර වටහා ගත යුත්තේ එම වැඩපිළිවෙළෙහිම කොටසක් ලෙසිනි. මරා දමනු ලැබූ කාසෙම් සුලෙයිමානී ඇතුළු ඉරාන පාලක පංතියේ අධිපතිවාදී ක්‍රියා හෝ මූලධර්මවාදී දේශපාලනය හුවාදක්වමින් එම අධිරාජ්‍යවාදී භූ දේශපාලන සැලැස්මේ ප්‍රතිගාමීත්වය වසා දැමිය නොහැක. ඒ ඉරාකයේ සදාම් හුසේන්ගේ හෝ සිරියාවේ බෂීර් අල් අසාද්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ජන සංහාරක දක්ෂිණාංශික පාලන තන්ත්‍රවල ප්‍රශ්නය හරහා එම රටවලට එරෙහි ආක්‍රමණ සාධාරණිකරණය කළ නොහැකි ලෙසමය. ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක ව්‍යාජ සටන්පාඨය යටතේ මැදපෙරදිගට කරනු ලබන මැදිහත්වීම් වල වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මහා ජන සංහාර හා දේපළ විනාශයන් මගිනි. අද වනවිට ඉරානයේ ජනතාව එම අවදානමේ ගොදුරු බවට පත්කර ඇත.


පර්සියානු කලාපයේ ඇතිවන යුද්ධයක් ලොවම වෙලාගත් විනාශකාරී යුද්ධයක් දක්වා වර්ධනය විය හැක්කේ මේ යුද්ධයේ පාර්ශවකරුවන් න්‍යෂ්ටික බලවතුන් වන හෙයිනි. න්‍යෂ්ටික අවි භාවිතා කරන යුද්ධයක් දැවැන්ත ජන ඝාතනයකට, සමූලඝාතනයකට මාවත හෙලිකරනු ඇත. එපමණක් නොව මේ යුද්ධයේ බලපෑම ලංකාවේ ජනතාවට සමීප බලපෑමක් කරනු ඇත්තේ ලංකාවේ වැඩකරන ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන නිසා හෝ ඉන්ධන මිළ ඉහළයාමේ අවකාශය නිසා පමණක් නොවේ. පර්සියානු ගල්ෆ් කලාපයේ යුද්ධයක නියුතු ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන්ට ඉන්දියානු සාගරයේ සිය බලය අතිශය තීරණාත්මක වනු ඇති බැවිනි.

එබැවින් මේ යුද්ධයත් සමග ඉන්දියානු සාගරයේ ආර්ථික-දේශපාලන-නාවුක-යුද බලය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින බලපොරය තවත් උත්සන්නවනු ඇත. මේ කඳවුරු දෙකම ලංකාවට කරන මැදිහත්වීම් තවත් තීව්‍ර කරනු ඇත. විශේෂයෙන් 2007දී වත්මන් ජනාධිපති හා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දස වසරකට වලංගුවන සේ අත්සන්කර 2017දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කාල සීමාවකින් තොරව දීර්ඝ කළ ඒ.සී.එස්.ඒ. හෙවත් ‘අත්පත්කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුම’ එවැනි අවදානමක් උග්‍ර කරනු ඇත.

යුදමය අවස්ථාවකදී ලංකාවේ භූමිය, භෞතික සම්පත් හා මානව සම්පත් භාවිතා කර ඇමරිකා එක්සත් ජනපදයට මිලිටරි සේවා සැපයීමට එමගින් පොරොන්දු වී ඇත. ලංකාවේ පාලකයන් අත්සන්කර ඇති එවැනි අමනෝඥ යුද ගිවිසුම් මගින් ලංකාවේ මිලියන 23ක ජනතාවද අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ව්‍යසනකාරී යුද්ධයකට මැදිව එහි ගොදුරු බවට පත්වනු ඇත. එනිසා ඉරානය හා එක්සත් ජනපදය අතර උද්ගතව තිබෙන යුදමය ආතතිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස අපි ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


සිය ආර්ථික හා දේශපාලන බල අරමුණු වෙනුවෙන් ලෝකයම යුද්ධයක පටලන, ලක්ෂ ගණනින් ජන ජීවිත බිලිගන්නා ලෝක බල කඳවුරු වල පාලකයන්ට අපි බලකර කියා සිටින්නේ ලෝකය විනාශකාරී යුද්ධයකට ඇද දමන සකලවිධ සැලසුම් වහා හකුළාගන්නා ලෙසය. මේ විනාශය වැළැක්වීම සඳහා එකම විකල්පය වන්නේ අධිරාජ්‍යවාදී අත්තනෝමතිකත්වයේ කාසියේ අනෙක් පැත්ත වන ජාතිකවාදය, ජාතිවාදය හෝ ආගමික අන්තවාදය වැළඳගැනීම හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අධිරාජ්‍යවාදී සංවිධාන මත විශ්වාසය තැබීම නොව වැඩකරන ජනතාව ප්‍රමුඛ ලොව පුරා ප්‍රගතිශීලී අධිරාජ්‍යවිරෝධී බලවේගවල සංවිධානාත්මක බලයක් ගොඩනැගීමයි.

එබැවින් ප්‍රාග්ධනයේ කෑදර අරමුණු උදෙසා සහ අධිරාජ්‍යවාදී බල අරමුණු උදෙසා ලෝකය යුදමය විනාශයකට ගොදුරු කරන ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී යුද්ධය පරාජය කරන එක්සත්භාවයක් සඳහා ලොව පුරා වැඩකරන ජනතාව ප්‍රමුඛ ප්‍රගතිශීලීන්ට වාමාංශික පක්ෂ හා ව්‍යාපාර සමග එක්ව සංවිධානාත්මක බලයක් ගොඩනගන ලෙස ආරාධනා කර සිටිමු. ජාත්‍යන්තර තලයේ එවැනි පුළුල් ජාත්‍යන්තරවාදී ක්‍රියාකාරීත්වයක කොටස්කරුවන් වන ලෙස ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

t

o

p