ආණ්ඩුවේ යහපත් තීරණවලට සහයෝගය

December 23, 2019

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා යහපත් තීරණ වලට සහයෝගය ලබා දෙන බවත් එහි අයිතිය ලංකාවට තබාගෙන කටයුතු කිරීම සුදුසු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසී ය.

රටට කරන්න පුළුවන් හොඳම දේ කරන්න අපි සෑමවිටම සහයෝගය ලබා දෙන බවත් සියලු බේද ඉවතදාලා, එක්සිත්ව එක්සත්ව කටයුතු කරමින් රට ඉලක්ක කර ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළැඹී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදිය ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේ ය.

ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේ කෙටි කාලය තුළ ඒ දේවල් යතා තත්ත්වයට පත්කරගන්නට නොහැකි වුණොත්, ලබන වසරේ අප්‍රේල් මාසය වෙද්දි ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. රට ඉලක්ක කරගනිමින්, ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළඹිලා තිබෙනවා.

ඒ වෙනුවෙන් සියලු බේද ඉවතදාලා, එක්සිත්ව එක්සත්ව කටයුතු කලයුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ජනතාව තුළින් ජනතා වරමක් ලබාගෙන කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා. ඒ තුළින් එදා ඩී.එස්. සේනානායක බිහි කරපු, මෙතෙක් කාලයක් නොයෙක් නායකත්ව යටතේ ඉදිරියට ගෙනාව එක්සත් ජාතික පක්ෂය, තවදුරටත් ජයග්‍රහණයේ මාවත කරා ගෙනයන්න අපි කටයුතු කරනවා .

එම උත්සවය අවසානයේදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කරුණානායක මහතා මෙසේ අදහස් පළ කළේ ය.

රටට කරන්න පුළුවන් හොදම දේ කරන්න අපි සැමවිටම සහයෝගය දෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය ගන්නා යහපත් තීරණවලට අපි සහයෝගය ලබාදෙනවා. නැව් එන්නේ නැති වරායක් පවත්වාගෙන යමින්, නිකරු‍ණේ අහිංසක ජනතාවගෙන් බදු මුදල් අය කරනවාට වඩා, එහි අයිතිය ලංකාවට තබාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න එක හොදයි.

ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මේ වනවිට යම් ස්ථාවරයකට පැමිණ ප්‍රශයක් කරලා තිබෙනවා. ඒ කරලා තිබෙන්නේ ආණ්ඩුවක් වශයෙන් රටට කළ යුතු යෝග්‍යම දේ තමයි. ආණ්ඩුවක් වෙනස් වුණා කියලා හැම දෙයක්ම වෙනස් වියයුතු නැහැ.

19 වන සංශෝධනය තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට, ජන ජීවිතය පහසු කරගන්න කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

t

o

p