පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

December 5, 2019

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද  සොයිසා මහතා ඊයේ උදෑසන (04) අභාවප්‍රාප්ත විය.රෝගී තත්ත්වයක් සදහා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඒමහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතාගේ දේහය මෙරටට රැගෙන එමට කටයුතු කෙරෙමින් පවතින අතර අවසන් කටයුතු සිදුවන දිනය පසුව දැනුම් දෙනු ඇත.

මිය යන විට 57 වැනි වියේ පසුවු ඒ මහතා 2010 වසරේදී මුල්වරට පාර්ලිමේන්තුවට තේරි පත් විය. විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පසුගිය කාලය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් කළ ඒ මහතා මිය යන විට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය.

වැවිලිකරු‍වෙකු  වු ඒ මහතා 90 දශකයේ මුල්භාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 1997 අටකලන්පන්න ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ද   2002 වසරේදී එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද එතුමා කටයුතු කළේය.2004 වසරේදී සබරගමු පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මන්ත්‍රිවරයෙක් ලෙස තේරි පත්වු ඒ මහතා  එම පළාත් සභාවේ ඉඩම්,කෘෂිකර්ම,වාරිමාර්ග අමාත්‍යවරයා  ලෙස ද  ඉන්අනතුරුව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස කටයුතු කිරීමේදි එතුමා පාර්ලිමේන්තුවේ තරුණ කටයුතු, ක්‍රීඩා,කලා සහ උරුමයන් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ද  කටයුතු කළේය. මුදිතා ජිනදාස මහත්මියගේ ස්වාමියා වු ඒ මහතා දෙදරු පියෙකි.

t

o

p