අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවන්න කටයුතු කරනවා

November 21, 2019

මෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව සහෝදරයා පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය. මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාද සහභාගි විය.

‘මේ මැතිවරණයේදී අපට ඡන්ද 8291ක් ලැබී තිබෙනවා. එය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩුවීමක් සහ ඊට පස්සේ තිබුණු මහ මැතිවරණයට සාපේක්ෂව ඡන්දවල යම් වැඩි වීමක් තිබෙනවා. මේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙදි අපි පැති දෙකක් ගැන කතා කළා. එකක් මූලිකව මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි.

ඒක සමාජවාදය. සමාජයක් ලෙස මේ රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න නියමිත ඇත්ත සමාජ ආර්ථික ප්‍රශ්න මොනවද ඉදිරියේදී එන්න නියමිත අනතුර මොකක්ද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡාවක් ගෙනාවා.  අවුරුදු 40 විතර විවෘත ආර්ථිකයට ජීර්ණය වෙච්ච පරම්පරාවක් එක්ක ඒක පහසු කාර්යක් නොවෙයි, රතු කොඩිය ඉහළින් දරා ගෙන හිටි ව්‍යාපාර පවා ඒක අතහැර තත්වයක් තුළ ඒක පහසු කටයුත්තක් නොවෙයි.’ යැයිද ඔහු පැවසීය.

මෙවර අප පක්ෂයට ප්‍රදාන වහයෙන්ම පාක්ෂිකයන් සහ හිතවතුන් තමයි ඡන්දය දීලා තියෙන්නේ. ඡන්ද වැඩිකර ගන්න අසමත් වෙලා තිබෙන බව කී දුමින්ද නාගමුව සහෝදරයා තවමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස බහුජනතාවත් එක්ක පුළුල් ලෙස බැඳුනු පක්ෂ්‍යක් ලෙස ගොඩනගන්න අසමත් වෙලා තිබෙන බවත් එය ඉදිරියේදී මුහුණ දීමට නියමිත අභියෝගයක් බවත් පැවසීය.

නමුත් ඒ කරුණ මත කිසි ලෙසකින්වත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙළ සහ සමාජයට එන්න නියමිත අනතුර පිළිබඳ පළ කළ මතය පිළිබඳව කිසිම විචිකිච්චාවක් නැති බවද ඔහු අවධාරණය කළේය. ඔහු තවදුරටත් මෙසේ තම අදහස් පළ කළේය.

“රටේ ඡන්දය පාවිච්චි වූ ආකාරය සළකා බැලු විට, පසුගිය දශක කිහිපය තුළ ජාතිවාදය මත පදනම් වුණු කඳවුරක් තිබෙනවා එක පැත්තක. රාජපක්ෂ කඳවුර. අනෙක් පැත්තෙන් ඊට එරෙහි යැයි කියමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කඳවුර. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර. නමුත් ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී නෑ.

අපේ මැතිවරණ ව්‍යාපාරයේ විශ්‍රම වැටුප, පෞද්ගලික අංශයේ අයිතිවාසිකම් උදුරා ගන්නා පනත, සෝෆා ගිවිසුම, එම්.සී.සී ගිවිසුම විසින් ඇතිවන අනතුර ගැන අපි මතු කළා. ඒ අනතුර එහෙමම තියෙනවා. නමුත් ඒ අනතුර පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට ගොඩනැගිලා තිබුණු දේශපාලන රැල්ලට ප්‍රතිචාර දක්වලා තිබෙනවා.

ජනතාව අද සිටින ඒ තත්වය දිහා විවේචනාත්මකව බලනවා වෙනුවට ඒ තැනින් ඔවුන් ඉහළට ඔසවන්නේ කොහොමද කියන ගැනයි අපි බලන්නේ. ඡන්දය ප්‍රකාශ කිරීමෙදි ඡන්දදායක ජනයාගෙන් කොටසක් ජාතික ආරක්ෂාවට ඡන්දය දීලා තියෙනවා. තවත් කොටසක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බලාපොරොත්තුවෙන් ඡන්දය දීලා තියෙනවා. නමුත් අපි දන්නවා ඔවුන් දෙපාර්ශ්වයෙම අපේක්ෂා මේ පත්වන පාලකයන්ට ඉටුකරන්න නොහැකි අර්බුදයක් පවතින බව.

අනෙක් කාරණය 2015ට වඩා ජනාධිපතිවරණ වයාපාරයේ යම් සංකීර්ණ තත්වයක් තිබුණා. විශේෂයෙන් ජාතිකවාදී කණ්ඩායම් හා ලිබරල්වාදී කණ්ඩායම් ලෙස ප්‍රධාන දේශපාලන බෙදීම තිබියදී මෙවර අතරමැද කණ්ඩායම් ගණනාවක් මතු වුණා. ඒ අය මේ අර්බුදයේම පදනම, නව ලිබරල් ආර්ථිකය මත හිට ගෙන යම් යම් සුළු විවේචන ඉදිරිපත් කලා. විකල්පයක් සොයන සමාජ තීරු ඒවාට ආකර්ශනය වන තත්වයක් තිබුණා. ඒ සමාජ තීරුව සමාජවාදය තෝරා ගෙන නැහැ.

අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරිපත් කළ ප්‍රශ්න එක්ක, සමාජය ඉදිරියේ තිබෙන අනතුර එක්ක සමාජය පෙළගස්වන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා. හැම කෙනෙකුටම අපි ආරාධනා කරනවා අපිත් එක්ක පෙළ ගැහෙන්න කියලා.“

t

o

p