හිරු මාධ්‍යය එක් අපේක්ෂකයකුට පක්ෂපාතී වීම ජනතා කැමැත්තට බාධාවක්

November 8, 2019

ජනාධිපතිවරණ සමයේ හිරු මාධ්‍ය ජාලය එක් අපේක්ෂකයකුට වාසි සැලසෙන අයුරින් පක්ෂපාතීව කටයුතු කිරීමත්, වැරදිසහගත සහ සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති සහ තොරතුරු ජනතාව අතරට ගලා යාම මඟින් ඡන්දදායකයින්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විදුලි පණිවිඩයක් යවමින් දන්වා සිටියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි එය සෘජු බලපෑමක් ඇතිකරනු ලබන බව ද නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේ දී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල හැසිරීම ඡන්දදායකයින්ගේ තීරණය කෙරෙහි සෘජුව බලපාන බව ඔබතුමා ද දන්නා කරුණකි.

16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූදා සිට හිරු රූපවාහිනි නාලිකාව සහ ගුවන් විදුලි නාලිකාව එක් අපේක්ෂකයකුට වාසි සිදුවන ආකාරයට පක්ෂපාතීව කටයුතු කරමින් සිය වැඩසටහන් සහ විශේෂයෙන් දේශපාලනමය වැඩසටහන්, ප්‍රවෘත්ති දැන්වීම් ආදිය ප්‍රචාරය කරනු ලබන අතර මේ පිළිබඳව අප විසින් කීප අවස්ථාවකදීම එම මාධ්‍ය ජාලයට පැමිණිලි ඉදිරිපත් කළ අතර මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට ඔවුන් කටයුතු කර නොමැත.

විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් ‘ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දමන්න‘ යයි ප්‍රකාශ කළ බවට එම ප්‍රකාශය විකෘති කර විකාශය කළ අතර ඒ පිළිබඳව අප විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලට මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ සම්බන්ධයෙන් අප විසින් මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි සභාපතිතුමාට කීප වරක් පැමිණිලි කරන ලද අතර මැතිවරණ කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නොමැත. ඉහත කී තත්ත්වය මත පැහැදිලිව පෙනී යන්නේ එම රූපවාහිනී නාලිකාව සහ එම එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව චේතනාන්විතව ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට පක්ෂපාතීව සිය වැඩසටහන් මෙහෙයවන බවයි.

මෙවැනි වැරදිසහගත සහ සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති සහ තොරතුරු ජනතාව අතරට ගලා යාම මඟින් ඡන්දදායකයින්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් සිදුවන අතර එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි සෘජු බලපෑම් ඇතිකරනු ඇත.

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ඉතා උණුසුම් තත්ත්වයට පත්ව ඇති මෙම අවස්ථාවේදී එම මාධ්‍ය ජාලය තවදුරටත් පක්ෂග්‍රාහීව කටයුතු කරමින් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු ජනගත කිරීමට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

t

o

p