ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ තබන්නේ නෑ

November 8, 2019

තම ජයග්‍රහණයෙන් පසුව ස්ථාපිත කරන රජයක් යටතේ ත්‍රස්තවාදයට නැවතත් හිස එසැවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අදාළ සියලු අංශ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසය සකසන බව පැවසූ රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ රජය සමයේ ක්‍රියාවට නංවා තිබුණු ආරක්ෂක සැලැස්ම ක්‍රියාවට නංවා ජාතික ආරක්ෂාව තහවුරු කරන බවත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ සාර්ථක දැක්මක් – වැඩකරන රටක් තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ කෑගල්ල දිස්ත්‍රික් ජනරැලියට කෑගල්ල නගරයේ දී එක්වෙමිනි.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම රටක බුද්ධි අංශ සුවිශාල මෙහෙවරක් ඉටුකරන බව පැවසූ රාජපක්ෂ මහතා වත්මන් රජයට බලයට පත් වූ වහාම බුද්ධි අංශ නිලධාරීන්ට අභූත චෝදනා නගමින්, ඔවුන් සිරගෙවල්වලට ගාල් කිරීමේ විපාක විඳින්නට ජනතාවට සිදු වූ බව පැවසීය.

ත්‍රස්ත විමර්ශන සහ අපරාධ විමර්ශන කොට්ඨාස එදා භාවිත කෙරුණේ ත්‍රස්තවාදය, පාතාලය සහ කුඩු ජාවාරම් මැඬලීමට වුවත් වත්මන් රජය එම ආයතන භාවිත කළේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම උදෙසා බවත් ජාතික ආරක්ෂාව පළුඳු වීමට එම කාරණා ද බෙහෙවින් බලපෑ බවත් රාජපක්ෂ මහතා කීවේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරක බාලසූරිය, කනක හේරත් මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.

t

o

p