මේ ඇමට ධීවරයෝ ගොදුරු වියයුතු නෑ!

October 31, 2019

ධීවරයන් බිලීබා ගන්න අවස්ථාවාදී දේශපාලන බලවේග යොදන ඇමට ගොදුරු නොවීමට ධීවරයන් සැලකිලිමත් විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ මාතර, ගන්දර, දෙල්ගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

ලංකාවේ සුළු පරිමාණ ධීවරයා විනාශ කර දැවැන්ත බහුජාතික සමාගම් වලට සාගරය අත්පත් කර දීම මේ හැම ආණ්ඩුවකම වැඩපිළිවෙල බැවින් ධීවරයන්ට වැනසී යාමෙන් ගැලවිය හැක්කේ සටන් වැදීම තුළින් පමණක් බව පැවසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය.


“මේ දවස් වල ඡන්ද බා ගන්න ඇම දාගෙන එන අයගෙන් මාතරට, ගන්දරට අඩුවක් නෑ. නත්තලට කලින්ම නත්තල් සීයලා ඇවිත් ඉල්ලන ඉල්ලන දේ නිකම් දෙන්න පොරොන්දු වෙනවා. සජිත් එකක් නිකම් දෙන්නම් කිව්වම ගෝඨාභය දෙකක් දෙන්නම් කියනවා. සජිත් ආය ඇවිත් තුනක් හතරක් දෙන්නම් කියනවා. ධීවරයන් බිලී බා ගන්න දාන ඔය ඇමට ගොදුරු වෙන්න එපා කියලා අපි ධීවරයන්ගෙන් ඉල්ලනවා.

ධීවර ප්‍රජාව මුහුණදෙන ප්‍රශ්න මොනවාද? අපි ඔය එක එක්කෙනා කියන ප්‍රශ්න වෙනුවට අපේ ඇත්ත ප්‍රශ්න ගැන අවධානය යොමු කරමු. මේ අයගෙන් කවුරු බලයට පත් වුනත් ගෙනියන්නේ මෙතෙක් ගෙනගිය වදපිලිවෙලම තමයි. ජනතා විමුක්ති පෙරමුණ වෙන විකල්පයක් ඉදිරිපත් කරනවා කීවට ඔවුන් කියන්නෙත් ඒකමයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ධීවර කර්මාන්තය ගැන කියන කොටස ගෝඨාභය ඒ ගැන කියන දේ වලට වඩා වෙනස් වෙන්නේ කොතැනින්ද කියලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා.

ධීවරයාගේ ඇත්ත ප්‍රශ්නය එන්නේ ධීවර කර්මාන්තය මහා පරිමාණ ඒකාධිකාර සමාගම් වලට පවරන්න සහ ධීවරයා ඒ සමාගම් වල කුලීකරුවෙකු කරන්න හදන වැඩපිළිවෙල නිසා. ලංකාවේ සාගරය තුළ මාළු අල්ලන්න දැනටමත් බහුජාතික සමාගම් වල දැවැන්ත ට්‍රෝලර් යාත්‍රා වලට සාගරයේ කොටස් බදු දෙනවා. පසුගිය වසරේ අත්සන් කළ සිංගප්පූරු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙන්නේ මහා සාගරය ලිබරල්කරණය කරනවා කියලා.

ඒ කියන්නේ ලංකාවේ මුහුදේ මාළු ඇල්ලීම සඳහා චීන, තායි, සිංගප්පූරු සහ වෙනත් විදේශ සමාගම් වලට ඉඩ සලසනවා. ඔවුන් මාළු ටික අල්ලා ගන්නවා පමණක් නෙවෙයි, ලංකාවට මාළු පිටරටින් ගෙන්වා අලෙවි කරන්නත් ඒ ගිවිසුමෙන් ඉඩ සලසා දී තිබෙනවා. එලෙස මාළු අලෙවි කිරීම බද්දෙන් නිදහස් කරලා. නමුත් ලංකාවේ ධීවරයන් භාවිතා කරන ධීවර ආම්පන්න වලට යහමින් බදු ගහනවා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ ධීවරයන් අල්ලන මාළු වලට වඩා අඩුවෙන් මාළු විකුණා වෙළඳපල අල්ලා ගන්න ඉඩ සැලසෙනවා.

ඒ අතර ලංකාවේ ධීවරයන් බහුදින ධීවර යාත්‍රා වල ගොස් ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලන එක නතර කරන්න ජාත්‍යන්තර පරිමානයේ ගිවිසුමකට අත්සන් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටියා. ධීවර යාත්‍රා වල සන්නිවේදන උපාංගයක් සවි කරලා ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන ධීවර්යාන් එමගින් අල්ලාගෙන දඬුවම් කරන්න තමයි සූදානම් වුනේ. ලංකාවේ මුහුද සමාගම් වලට දීලා ජාත්‍යන්තර මුහුද ධීවරයන්ට තහනම් කරන නීති ගැන සජිත් සහ ගෝඨාභය කියන්නේ මොකක්ද? ජවිපෙ මේ ප්‍රශ්න ඉදිරියේ ඉන්නේ කසාය බීපු ගොළුවෝ වගේ.


අනෙක් එක පාලකයන්ගේ ව්‍යාපෘතිය තියෙන්නේ ධීවර කර්මාන්තය වගේ නිෂ්පාදන අංශය හකුළුවලා සේවා අංශය ප්‍රසාරණය කරන්න. මූල්‍ය සමාගම් පෝසත් කරන්න පුළුවන් ඒ විදියට. සමහර කලපු වල ධීවර කර්මාන්තය නතර කරලා ඒ කලපු සංචාරක කර්මාන්තයේ සී ප්ලේන් ගොඩ බස්වන්න වෙන් කරන්න හැදුවේ ඒ ව්‍යාපෘතියේ කොටසක් ලෙස. බස්නාහිර වෙරල ආශ්‍රිත මුහුදේ මසුන් බිත්තර දාන වැදගත්ම ප්‍රදේශයක් යට කරලා වරාය නගරය හදද්දී මේ අයට වැදගත් ධීවර කර්මාන්තය නෙවෙයි, වරාය නගරයට එන මූල්‍ය සහ වෙළඳ සමාගම් වල පහසුව.

මත්ස්‍යයන් බිත්තර දාන තැන් විනාශ වුනා විතරක් නෙවෙයි, වෙරළත් ඛාදනය වෙනවා. කොළඹ වරාය නගරය හදන්න පටන් ගන්න කොටම කළුතර කැලිඩෝ වෙරල මුහුද කෑමට ලක්වුනා. චම්පික රණවක කියනවා වරාය නගරයේ දෙවන අදියර දෙහිවල දක්වා හදනවා කියලා. කොළඹ වරාය නගරය නිසා කළුතර වෙරල වැනසෙනවා නම් දෙහිවල වරාය නගරය නිසා ගාල්ල සහ මාතර වෙරළත් විනාශ වෙයි. පාලකයන්ට වැදගත් ධීවරයන්ගේ ජීවනෝපාය හෝ ලංකාවේ ජනතාවගේ මාළු පරිභෝජන අවශ්‍යතා සැපිරීම නෙවෙයි.

බහුජාතික සමාගම් වල සහ මූල්‍ය ධනපතියන්ගේ ලාභ. ඒ ලාභ වෙනුවෙන් ධීවරයන්ගේ ජීවිතයි, රටේ නිෂ්පාදනයයි, මත්ස්‍ය සම්පතයි, සාගරය ඇතුළු පරිසරයයි විනාශ කරන එකට තමයි ධනවාදය කියන්නේ. අපි සමාජවාදය කියන්නේ සමිති හරහා සාමූහික වූ ධීවරයන්ගේ පොදු සාමූහික වලට පහසුකම් දෙන, සාගරයේ අයිතිය ධන කුවෙරයන්ට නොව ධීවරයන්ට දෙන, වැඩි ලාභ-ඉකමන් ලාභ සහ පහසු ලාභ වෙනුවෙන් පරිසරය විනාශ නොකර එය ආරක්ෂා කරන සමාජ ක්‍රමයකට. ධීවරයන්ගේ ප්‍රශ්න සඳහා තිබෙන එකම විකල්පය එය පමණයි.

එක්කෝ මේ විනාශකාරී මාවත තෝරා ගන්න ඕන. නැත්නම් සමාජවාදී විකල්පය තෝරා ගන්න ඕන. තුන්වන මාවතක් නෑ. මේ ජරාජීර්ණ ක්‍රමය පිරිසිදු කරලා අරන් යන බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා. මේක කුණුවෙලා හිසේ සිට දෙපතුලටම ඕජස් ගලනවා. මේක පිරිසිදු කරන්න බෑ. ඇත්ත විකල්පය ඉදිරිපත් කරන්නේ කුළුගෙඩිය ලකුණෙන් එන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විතරයි.

ධීවරයන්ට කතිරය ගහන්න පුළුවන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ කුළුගෙඩිය ලකුණෙන් විතරයි. ඒ නිසා ඔබ දාන ඇමට මාළු අහු වුනාට ඔබ මේ වංචාකරුවන්ගේ ඇමට අහු වෙන්න එපා. 16වැනිදාට නිවැරදි තීරණයක් ගන්න. කුළුගෙඩිය ලකුණ ඉදිරියේ, දුමින්ද නාගමුව සහෝදරයාගේ නම ඉදිරියේ ඡන්දය සලකුණු කරන්න.

t

o

p