ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සුනඛයන් මර්දනය කිරිමට යයි

October 28, 2019

2001 වසරේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ජලභීතිකාව පිටුදැකීම සඳහා සුනඛයන් ඝාතනය කිරීම අත්හිටුවීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දඩාවතේ යන සුනඛයන් මර්දනය කල යුතු බවට සිදුකොට ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසු වන ලෙස අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුභසාධන සංගමය නිවේදනය කරයි. එම සම්පූර්ණ නිවේදනය මෙලෙසිනි.


2011 වසරේ එළඹුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මුල් කොට එතෙක් ජලභීතිකාව පිටු දැකීම පිණිස වන කෲර ක්‍රියාමාර්ගයක්ව පැවැති නිවාස අහිමි සුනඛයන් ඝාතනය කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් රජය විසින් මුලුමනින්ම නවතා දමන ලදී. එසේ තිබියදී ඉන් පසුවත් අවස්ථා කිහිපයකදීම නිල නොවන මට්ටමෙන් මෙරට සුනඛ සංහාර සිදුවූ බව සත්ව අවිහිංසාවාදීන්ටත් සත්ව හිමිකම් සහ සුභසාධන ක්‍රියාධරයන්ටත් රහසක් නොවේ.

මෙවන් තත්වයක් යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකු මහජනතාවගේ යහපත උදෙසා දඩාවතේ යන සුනඛයන් මර්දනය කළ යුතු බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශකොට ඇති බව දැන ගන්නට තිබේ. ලොව බොහෝ දියුණු රටවල් සත්ව අවිහිංසාව පදනම් කර ගනිමින් ජලභීතිකාව තුරන්කොට ඇති පසුබිමක අවිහිංසාව පදනම් කොට ගත් බුදුදහමේ කේන්ද්‍රස්ථානය යැයි පැවසෙන අප රටේ යළි නිල මට්ටමින්ම සුනඛ ඝාතන සංස්කෘතියකට මංපෙත් විවර කරදීම කෙරෙහි ඔබ සැමගේ විශේෂ අවධානය යොමු කරන අතර එම ඛේදනීය තත්වය වලකාලීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු

 තිලක් සේනාසිංහ – අධ්‍යක්ෂ අහිංසා ශ්‍රී ලංකා

t

o

p