ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ගෙන එනවාට විරුද්ධ ඇයි?

October 25, 2019

ජාතික ආරක්ෂාව පිළිබඳව නව නීති ගෙන එනවාට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසා දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වහා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ විරුද්ධ වනවා නම්, ඒ සඳහා තමන් සතු වැඩපිළිවෙල කුමක් දැයි හෙළි කළ යුතු යැයි කිරිබත්ගොඩ දී අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පොහොට්ටු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එලෙස එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කිරිබත්ගොඩ නගරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ එම රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවෘතව සොයා බැලීමක් සිදුකර මෙවැනි වාර්තාවක්  ඉදිරිපත් කළේ පළමු වතාවටයි.

මීට පෙර මේ රටේ යුද්ධ තිබුණා. එදා ආරක්ෂාවට ගැටළු ඇති වූ අවස්ථාවල දී ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් විමසු විට “ජාතික ආරක්ෂාව” යැයි පවසමින් තොරතුරු ලබාදුන්නේ නැහැ. කොටි කොළඹට ප්‍රහාර එල්ල කළ විට එදා බලයේ සිටි අය ඒ පිළිබඳ සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කළාද, එක වතාවක් හෝ පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දුන්නා ද යන්න මම ඔබෙන් අහන්න කැමතියි. ඒ ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළාම මට ජාතිද්‍රෝහියා කියමින් අපහාස කළා.

යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කිහිප වතාවක් ගුවන් යානාවලින් ප්‍රහාර එල්ල කිරීමට පැමිණියා. එම තොරතුරු සියල්ලම බුද්ධි අංශවලට සොයා ගැනීමට නොහැකි වුනේ ඇයි දැයි මම ඔවුන්ගෙන් අහන්න කැමතියි. එම සිද්ධීන් පිළිබඳව තේරීම් කාරක සභා හෝ කමිටු පත්කළා ද, සොයා බැලීම් කළා ද? ඒ කිසිවක් කළේ නැහැ.

පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධව ඒ අවස්ථාවේදීම අපි ක්‍රියා කළා. එදා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් අපි ක්‍රියාත්මක වුණා. එදින සවසම දෙමටගොඩ ප්‍රදේශයෙන් පළමු ඔත්තුව ලබාගත්තා.

අපගේ ක්‍රමවේදයන් තුළ හෝ බුද්ධි අංශය තුළ අඩුපාඩු තිබෙනවා ද, ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණයේ අඩුපාඩුකම් තිබෙනවා ද යන්න පිළිබඳව අපි විවෘතව සොයා බැලීමට තීරණය කළා.

ඒ නිසා අපි තේරීම් කාරක සභාව පත් කළා. එම තේරීම් කාරක සභාවේ වැඩකටයුතු අපි හොර රහසේ, කාමර තුළ සිදුකළේ නැහැ. තේරීම් කාරක සභාවට සෑම පක්ෂයකම සාමාජිකයන්ට අපි ආරාධනා කළා. එහි සොයා බැලීම් සියල්ලම මාධ්‍යයට විවෘත කළා. ඒ තේරිම් කාරක සභාව හමුවට ගොස් මමත් සාක්ෂි ලබාදුන්නා. රුපවහිනි නාලිකා ඔස්සේ විකාශය වූ නිසා ලබාදෙන සාක්ෂි පිළිබඳව ඇත්ත, නැත්ත තීරණය කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණා. මේ තේරීම් කාරක සභාවට සෑම පක්ෂයකම නියෝජිතයින් ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොහොට්ටුව ඊට සහභාගි නොවන බව කියමින් එය ප්‍රතික්ෂේප කළා.

අනෙක් සියලූ පක්ෂ ඊට සහභාගි වූවා නම් ඔවුන්ට පමණක් ඊට සහභාගි වීමට නොහැකි වුණේ ඇයි? ආණ්ඩුව එම ප්‍රහාරයට වගකිව යුතු යැයි චෝදනා කළ ඔවුන්ට, එය හොඳ අවස්ථාවක් වන්නට තිබුණා. නමුත් ඔවුන් තේරීම් කාරක සභාවට සහභාගී වුණේ නැහැ. ඔවුන් සතුව තිබෙන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත්, ඔවුන් සාක්ෂිවත් ලබානොදී මඟහැර සිටියා. අද එම තේරීම් කාරක සභා වාර්තාව ඇතුළු ලිපිලේඛන සියල්ලම සමග වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.   

තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ යෝජනා පොහොට්ටුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි මම ඔවුන්ගෙන් අහන්න කැමතියි. සහරාන් සමග සම්බන්ධකම් තිබෙන දේශපාලකයෙක් සිටී නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස මම උපදෙස් ලබාදුන්නා. එහි ගැටළුවක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විභාග කිරීමටත් අප සුදානම්. එහිදී අපේ පක්ෂයට සම්බන්ධ අය සිටියහොත් ඔවුන්ට විරුද්ධවත් ක්‍රියා කිරීමට අපි පැකිලෙන්නේ නැහැ. මට තිබෙන ගැටලූව නම්, මේ පිළිබදව පරීක්ෂණ සිදු කරනවාට පොහොට්ටුව බිය වූයේ ඇයිද යන්නයි.

සහරාන්ලා හැදුවේ, වැඩුවේ කවුදැයි අද රටේ ජනතාව දන්නවා. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. සහරාන් සමග සම්බන්ධතා පැවැත්වුයේ කුමන ජනාධිපතිවරයා ද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කිරීමේ වරදක් මම දකින්නේ නැහැ.

ත්‍රස්තවාදයට එරෙහිව නව නීති අවශ්‍ය බවත්, ජාතික ආරක්ෂක සභාව නීතිගත කළ යුතු බවත් තේරීම් කාරක සභාව යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා වැරදිද? එසේ නම් මෙම යෝජනාවලට විරුද්ධ වන්නේ ඇයි? මෙම යෝජනාවන්ට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසා දැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ යුතුයි. නව නීති ගෙන එන්නේ නැතිව ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? ජාතික ආරක්ෂාව අපේ අතේ තිබෙන බවට වේදිකාවේ ප්‍රකාශ කරන්න ඕනෑම අයෙකුට පුළුවන්. 

ජාතික ආරක්ෂාව වෙනුවෙන් නව නීති ගෙන එනවාට ඔවුන් අද පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වුණා. මේ ප්‍රශ්නවලට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දිය යුතුයි.  ඇමරිකාවේ පවා නීතිගත කර තිබෙන ජාතික ආරක්ෂක සභාව, මෙරට නීතිගත නොකිරීම විශාල අඩුපාඩුවක්. එයට විරුද්ධ වීමට හේතුව කුමක්දැයි මම ඔවුන්ගෙන් විමසනවා. නව නීති අවශ්‍ය බවට අපි පිළිගත් නිසා නව නීති ගෙන ඒමට පසුගිය වසරේ පියවර ගත්විට පොහොට්ටුවේ පිරිස් එයට විරුද්ධ වුණා.

ත්‍රස්තවාදයට විරුද්ධව නව නීති ගෙන ආ යුතු යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෝජනා කළා. ද්‍රවිඩ එක්සත් පෙරමුණ, මුස්ලිම් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ පවා විරුද්ධ නොවුණු එම යෝජනාවලට පොහොට්ටුව විරුද්ධත්වය ප්‍රකාශ කළා. පොහොට්ටුව මෙවැනි දේශද්‍රෝහී ක්‍රියාවක් අනුගමනය කරන්නේ ඇයි දැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුවෙන්ම ප්‍රකාශ කළ යුතුයි. ඔවුන්ට නැවත ත්‍රස්තවාදයක් වුවමනාද, ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැද්ද යන්න මම ඔවුන්ගෙන් විමසා සිටිනවා. 

ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නැති පොහොට්ටුවේ කණ්ඩායමට රටේ බලය ලබාදෙන්නේ කෙසේද? අපේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා, තමා ජාතික ආරක්ෂාව පිළිබඳ විශේඥයෙක් බව කිසිවිටක ප්‍රකාශ කර නැහැ. එතුමා සුදුස්සාට එම වගකීම ලබාදෙනවා. ජාතික ආරක්ෂාව සරත් ෆොන්සේකා මහතාට බලාගන්නට පුළුවන්. රට දියුණු කිරීමේ කටයුත්ත අපි සියලූ දෙනාටම සිදුකරන්න පුළුවන්. අපිට සියල්ල කළ හැකි බවට ලේබල් ගහගන්නේ නැහැ. ජාතික ආරක්ෂාවට වෙන කිසිවෙකුටත් ඇගිලි ගැසීමට ඉඩ නොතබන බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගෙගේ ප්‍රතිපත්තිය රටට හෙලිකළ යුතුයි. ඔවුන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව නීතිවලට විරුද්ධ නම් ඒ වෙනුවට තමන්ගේ වැඩපිළිවෙල කුමක්දැයි සඳහන් කළ යුතුයි. ඒ වගේම සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලඥයා සෙවීමට ඔවුන් විරුද්ධ වන්නේ ඇයි දැයි ප්‍රකාශ කළ යුතුයි.

මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, එක්සත් ජාතික පක්‍ෂ කැළණිය ප්‍රධාන සංවිධායක සහ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කාවින්ද ජයවර්ධන යන දේශපාලනඥයින් සහ පාක්‍ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

t

o

p